ශ්‍රි ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සහාය දෙනවා – රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමති ජනපති අනුර හමුවී කියයි – Saru News | සිංහල

0
2

මැදපෙරදිග යුද තත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) ජනාධිපති අනුර දිසානායක හමුවේ අවධාරණය කර තිබේ.

ඒ, ඔහු මෙරට සිදු කරන නිල තෙදින සංචාරය අතරතුරදී අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති හමු වූ අවස්ථාවේදීය.

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කර ඇති රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති, එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පවසා ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කර ඇති රුසියානු නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කර ඇති ජනාධිපති අනුර දිසානායක අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව සඳහන් කර ඇත.

මෑතකාලයේදීද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දී ඇති ජනාධිපති, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබා දෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට රුසියාව ලබා දෙන සහායත් කෘතවේදීව සිහිපත් කර තිබේ.

රුසියානු නියෝජ්‍ය ඇමති රෝමන් මාර්ෂවින්ගේ (Roman Marshavin) මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා හේතු වනු ඇති බවටද ජනාධිපති අනුර දිසානායක වැඩිදුරටත් විශ්වාසය පළ කර ඇත.

කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති ඇමති කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, රුසියාවේ බලශක්ති අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Vladimir Khazov, ඛනිජ තෙල් ආශ්‍රිත සේවා වාණිජ ව්‍යාපෘති සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Sergey Rodin ඇතුළු රුසියානු නියෝජිත පිරිස ඊට එක්ව සිටියහ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here