ශෂීන්ද්‍ර වන්දි අනුමත කළැයි ඇල්ලූ හානි පූර්ණ කාර්යාලයේ හිටපු ඉහළ අධ්‍යක්‍ෂවරියට දැඩි කොන්දේසි මත ඇප

0
1

මොනරාගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා භාවිත කළ මහවැලි අධිකාරියට අයත් ඉඩමක ගොඩනැගිල්ලකට ලක්‍ෂ 80කට අධික වන්දියක් ගෙවීමට අනුමත කළ බව කියන සිද්ධියට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එවකට හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි මහත්මිය දැඩි කොන්දේසි පනවා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (08දා) නියෝග කළේය.

හානිපූර්ණ කාර්යාලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එකී වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කොට තිබියදීත් සැකකාරිය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව විෂය භාර අමාත්‍යවරයා වෙත 2023.11.27 වැනිදා දැනුම්දීමක් කර ඇති බවත් එකී ලිපියට පිළිතුරු ලෙස අමාත්‍යවරයා යොමු කළ ලිපිය අනුව යමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර මනෝජ් හේමලාල් ඒකනායක නමැත්තාට මූල්‍ය සහන ලබාදීමට එකඟත්ව ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.

එකී එකඟතාව ඉල්ලා ලබාගෙන අදාළ වන්දි මුදල වන රුපියල් අසූලක්‍ෂ පනස්දහසක මුදල ගෙවීම සඳහා 2024.01.26 වැනිදා අනුමත කිරීම මගින් එම සැකකාරිය හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන් පෙලඹවීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද හා පොදු දේපළ පනතේ සාපරාධී සාවi පරිහරණය යන වරද සිදුකිරීමට ආධාර අනුබල දී ඇතැයි ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.

එම සැකකාරිය තම කොමිෂන් සභාවට කැඳවා ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ සිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවද අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීහු, විෂයගත දේපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් දේපළක් බැවින් 2022.05.22 වැනිදා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ නිලධාරි කමිටුව සහ හානිපූර්ණ පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2023.11.01 වැනිදා වන්දි ගෙවීම ලිඛිතව ප්‍රතික්ෂේප කොට තිබියදී එකී වන්දිය ගෙවා ඇතැයි ද අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනා බැවින් සැකකාරිය ඇපමත මුදානොහරින ලෙස අල්ලස් විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. සිය සේවාදායිකාව මේ වනවිට සේවය කරනුයේ හානිපූර්ණ පිළිබඳ කාර්යාලයේ නොව අධිකරණ අමාත්‍යාංශයේ බවත් වගකිවයුතු තනතුරක් දරන ඇය අධිකරණය මඟහැරයෑමේ හෝ විමර්ශනවලට බාධාකිරීමේ ප්‍රවණතාවයක් නොමැති බැවින් ඇපමත මුදාහරින ලෙස සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මින් ඉදිරියට හානිපූර්ණ පිළිබඳ කාර්යාලයට ඇතුළුවීම වළක්වමින් සැකකාරියට එම ඇප නියෝගය නිකුත් කළේය. හානිපූර්ණ පිළිබඳ කාර්යාලයට අදාළ කිසිදු රාජකාරියක් හෝ වෙනයම් කාර්යයක් ඇයට නොපවරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් ද නිකුත් කළේය. එම නඩුව ලබන 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.

දීර්ඝ කාලයක් රජයේ වගකිවයුතු තනතුරු දරා තිබීම, පෙරකී චෝදනාවට අදාළ සිද්ධියේදී මූල්‍ය වාසියක් ගෙන නොතිබීම යන කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here