ශෂ්නි කමර්දීන් මුල්ලේරියාවෙන් බෙහෙත් ගන්නා අයෙක් බව හෙළිවෙලා

0
8

නිවෙසේ සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරික Prestige Rubbers (Pvt) Ltd ආයතනයේ සභාපති ශෂ්නි කමර්දීන් (Shzni Kamardeen) ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (02) නියෝග කළේය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බොරැල්ල පදිංචි කමර්දීන් මහතාට, ඊට ආධාර අනුබල දුන් බව කියන ඇහැලියගොඩ මොහොමඩ් රසීඩ් හා මොහොමඩ් හනිපා යන සැකකරුවන්ද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.

එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට  බලපෑම් නොකරන ලෙසට අවවාද කරමින් සෑම මසකම අවසන් ඉරු දින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

සැකකාර ව්‍යාපාරිකයා තම දරුවන් බලා ගත් සේවිකාවට මරණීය තර්ජනය කර අමානුෂික ලිංගික හිංසන සිදුකර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට කරුණු දක්වමින්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

පසුගිය නඩු වාරයේදී කළ නියෝගයක් පරිදි සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේමරත්න මහතා කරුණු දක්වමින්  ප්‍රධාන සැකකරුට එරෙහිව අදාළ කාන්තාව විසින් මුල් අවස්ථාවේදී පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන්නේය.

විමර්ශනයට පාදක සිද්ධිය පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුව ඇති බවත්, මාස දෙකකට පසුව පැමිණිල්ල විසින් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවත් පැවසීය.

සැකකරු සිය මානසික තත්ත්වය සම්බන්ධයෙන් මුල්ලේරියාව රෝහලින් ප්‍රතිකාර ලබන අයකු බවත් පැවසීය.

කුඩා දරුවන් දෙදෙනකුගේ පියකු වන සැකකරුගේ මානසික තත්ත්වය සහ  දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ඇප ප්‍රදානය කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනාට ඇප නියම කළේය.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළේය.සෑම මසකම අවසන් ඉරි දින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.

විමර්ශන ප්‍රගතිය මාර්තු 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කෙරේ.

සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here