
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී, සැකකරු විසින් වෛද්‍යවරියට සිදුවූයේ අතවරයක් නොවන බවත් සිදුවූ ලිංගික ක්‍රියාව බලහත්කාරයෙන් නොව කැමැත්තෙන් සිදුවූවක් බව ප්‍රකාශ කිරීම නිසා අනපේක්ෂිත තත්වයක් මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ මහතාට නියෝග කර ඇත.
එමෙන්ම සැකකරු විසින් ගල්නෑව පොලිසිය තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවටද අධිකරණයේදී කරුණු ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා අධිකරණයේ අවසරය ලැබුණු පසු ඉහත කරුණු හෙළි කළේය.
සෙබළා කියා ඇත්තේ තමා සමග වෛද්‍යවරිය එක්වීම අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත් ඉඩක් නැති බවකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවන ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා මාර්ගයේ සීසීටීවී කැමරා ඇත්නම් එම අවස්ථාවේ වෛද්‍යවරිය හැසිරුණ ආකාරය ඒවා පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගත හැකි බවත් සෙබළා කියා තිබේ.
මේ නිසා වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම ගැටලු සහගත බව ඔහු පැහැදිලි කර ඇත.
වෛද්‍යවරිය සෙබළාට එරෙහිව පැමිණිලි කර තිබුනේ අතවරය හා වීඩියෝගත කළ කොටස් සහිත ජංගම දුරකථනය රැගෙන පළායාම ගැනයි.
මින් ඉහත පුවත්පත් වාර්තා මගින්ද වෛද්‍යවරිය බැමි ගැටගසා තිබීම හා ඒවා ලිහාගැනීම ගැන පරස්පර වාර්තා පළව තිබූ අතර සෙබළාගේ මෙම ප්‍රකාශය සමග මෙම නඩුව අලුත් පැත්තකට යොමුව තිබේ.
මීට අමතරව ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර සහ ගල්නෑව පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්නෑව පොලිස් නිලධාරීන් විසින් තම ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කර පහර දී කෲර වද හිංසා පමුණුවා ඇති බවත්ය.
මෙම හේතුව නිසා තම ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනය සිදුව ඇති බවද සැකකරු අධිකරණයට පවසා ඇත.
කෙසේ වෙතත් වෛද්‍යවරිය සම්බන්ධව සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ විමර්ශන නොමග යැවීමේ අරමුණින් බවයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් හසුව තිබෙන්නේ හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියකු වන ගල්නෑව නව නගරය බී තුන ඇලපාර පදිංචි කේ. බී. නිලන්ත මදුරංග රත්නායක නමැත්තාය. සැකකරු 2025 මැයි මස 26 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු පෙනී සිටි නමුත්, සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැත. ඔහු අධිකරනයේ උත්තර බැන්දේ තනිවමය.
Saru FM Media