මේ ශෝකජනක මොහොතේ දුනිත් ‘දිවයින’ අපි ඔබ සමග ශෝකය බෙදාගනිමින් පියාණන්ට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
තම රට දිනවීමට ක්‍රිකට් පිටියේ හරඹ දක්වද්දී සවන් වැකුණු දුක්මුසු පුවතකින් පුතකුගේ හද කම්පාකරවාලූ සිදුවීම ක්‍රිකට් පිටිය කඳුළින් තෙත් කළ අනුවේදනීය සිදුවීමක් බවට පත් වූයේය.
අලුත් පරපුරේ බලාපොරොත්තු දල්වන ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය දුනිත් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වද්දී ඔහුගේ සවන් වැකෙද්දී වාවාගත නොහැකි ශෝකය දරාගෙනම පිටියෙන් නික්ම ගිය සෙසු සහෘදයන්ගේ සොව නොනවත්වා තමන් වෙත පළවෙද්දීය. පියාගේ අභාවය දැනගත් විගස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අබුඩාබි නුවර සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග දිවයිනට පැමිණියහ. වෙල්ලාලගේ ගේ පියා මියයන විට 54 වැනි වියේ පසුවූ අතර, ඔහු දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම කඩුලු රකින්නකු ද වෙයි.
1993 වර්ෂයේ මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ සුරංග වෙල්ලාලගේ ඕල්ඩ් කේම්බි්‍රයන්ස් ක්‍රීඩා සමාජයටත් මොරටුව ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළ අතර වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී නවලෝක කණ්ඩායම නියෝජනය කළේය.
ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩක මොහොමඩ් නබී වෙල්ලාලගේ ගේ පියාගේ අභාවය දැනගත් පසු තම X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ
“සහෝදරයා මේ අවස්ථාවේ ශක්තිමත්ව නැඟී සිටින ලෙසයි. ඔබගේ පියාණන්ගේ අභාවය ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කර සිටිමි” යන්නයි.
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා මියගොස් ඇත්තේ දිගුකාලීනව පැවති හෘද රෝග තත්ත්වය මත ඇති වූ හෘදයාබාධය හා අධික රුධිර පීඩනය හේතුව නිසාවෙන් සිදු වූ මරණයක් බව මරණ පරීක්ෂණයේදී තවුරු කර ඇත. මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂක කවිඳු පීරිස් මහතා විසින් පැවැත්වූ අතර ඒ පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා ඇත. එහි මෙසේ දැක්වේ.
මොරටු හදිසි මරණ පරීක්‍ෂක වන මා හට අද උදෑසන පැමිණි දුරකථන ඇමතුම ලබා දුන්නේ මොරටුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් විජේසිංහ මහතාය. එම පණිවිඩය වූයේ ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා මියගොස් ඇති අතර එම මෘත දේහය පානදුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි. මුලින්ම එම ස්ථානයට පොලිසිය ගොස් තිබූ අතර මම එම ස්ථානයට යන විට දුනිත් වෙල්ලාලගේ එම ස්ථානයට පැමිණ සිටි අතර ඊයේ රාත්‍රියේ ක්‍රිකට් තරගය අවසන් වූ පසු මාගේ තාත්තා මියගොස් ඇති බව මා හට සැලවූ පසු ඔහුගේ මුළු ලෝකයම සහ ඔහුගේ ශක්තිය නැති වී ගියා යැයි මා සමග ඔහු කියා සිටියේය. ඉන් පසු ඔවුන් මට කියා සිටියේ එම දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයට යොමුකරන ලෙසය.
ඉන් පසු මම දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ මව බාල සොයුරා සමග අධිකරණ වෛද්‍ය මුදිත කුඩාගම මහතා හමු වූ අතර එහිදී ඉක්මනින්ම පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එම වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබාදෙන බව එම මහතා ප්‍රකාශ කර සිටියේය. ඉන් පසුව දුනිත් වෙල්ලාලගෙන් සහ මවගෙන් සහ පවුලේ ඥාතීන්ගෙන් සාක්ෂි ලබාගත් අතර ඊයේ රාත්‍රියේ 9.45ට පමණ දුනිත්ගේ පියා ක්‍රිකට් තරගය නරඹන අතරතුර (ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේදී) ඔහු විසින් ජලය පානය කිරීමට යන අවස්ථාවේදී එක වරම වැටෙනවා වගේ දැනුන නිසා ඔහුගේ බාල පුතා සහ බිරිඳ විසින් අල්ලාගෙන ඇති අතර අවට අසල්වැසියන්ගේ උදව් ඇතිව ඔවුන්ගේ මෝටර් රථයට නංවාගෙන ගොස් ඇති අතර පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන අතරතුර එහි සිටි වෛද්‍යවරු කියා සිටියේ ඔහු රෝහලට රැගෙන එන විටත් මියගොස් ඇති බවයි. මෙහි සංවේදීම අවස්ථාව වන්නේ දුනිත්ගේ පියා කළ කැපකිරීම පවසන මොහොතේදී දුනිත් වෙල්ලාලගේ ගේ ඇස්වල කඳුළු පිරී තිබුණි.
දුනිත්ගේ මව විසින් ලබාදී ඇති කටඋත්තරය –
මොරටුව ජුබිලිය පහළ ෆාම් ෂොප් එක කරන්නේ මහත්තයා. අපට තව ව්‍යාපාර කිහිපයක් තිබුණා. එම ව්‍යාපාර කිහිපයම නැති වුණේ දුනිත්ට ඉගැන්වීමටය. එයට හේතුව මහත්තයා කරපු කැපකිරීම පාන්දර 5.00 ට නැගිට පුතාව පුහුණුවීම කරන්න ගිහිල්ලා දාලා නැවතත් ගෙදර එනවා. නැවත සවස 2.00 ට පුහුණුවීම් බලන්න ගිහිල්ලා පුතා එනකන් බලාගෙන ඉන්නවා. එයාට ඒ නිසා ව්‍යාපාර කරන්න වෙලාවක් තිබුණේ නෑ. නමුත් අද මගේ පුතා අද තාත්තාගේ හීනේ හැබෑ කරලා තියෙනවා. එයා ඒ ගැන හරි ආඩම්බරෙන් හිටියේ.
එය පවසන මොහොතේ දුනිත්ගේ සහ බාල සොයුරාගේ ඇස්වල කඳුළු පිරී තිබිණි.
දුනිත් වෙල්ලාලගේ වගේ චරිතයක් ඔහුගේ පියා වන සුරංග නිරෝෂන් වෙල්ලාලගේ ගේ කැපකිරීම නොමැතිනම් බිහි නොවන බව මට වැටහීමය. දුනිත් මාත් සමග කතා කළ අතර ඔහුගේ පියාගේ දේහය බැලීමට (පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව) යන්න පුළුවන්ද යන වග එම මොහොතේදී දුනිත්ගේ මව පැවසූ අතර, හිත ශක්තිමත් කර ගෙන ගිහින් බලලා එන්න යැයි ඇය දුනිත්ට කීය. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි කුඩාගම අවයව පෙන්වමින් දිගුකාලීනව පැවති හෘද රෝග තත්ත්වය මත ඇති වූ හෘදයාබාධය හා අධික රුධිර පීඩනය හේතුව නිසාවෙන් සිදු වූ මරණයක් බව මරණ පරීක්‍ෂකවරයා තහවුරු කරන ලදී.
සුසිල් ජයකොඩි
Saru FM Media