මෙවර අයවැය යෝජනා මගින් වීදි සුනඛයන් සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට ජනාධිපති අනුර දිසානායක යෝජනා කර තිබේ. රටක චින්තනය දියුණු වනවිට රාජ්‍ය නායකයාගේ චින්තනය ද උසස් වේ. තිරිසන් සතුන්ට අනුකම්පා කරන මිනිහා මනුස්සයින්ට ද ආදරේ කරයි. වීදි සුනඛයන්ට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමෙන් ජනාධිපති දිසානායක කළ උතුම් ක්‍රියාව අපගේ ගෞරවයට ද ප්‍රශංසාවට ද ලක්වේ. වීදි සුනඛයෝ ලක්ෂ ගණනක් ලංකාවේ සිටිති. මෙය කරදරයක් වන අවස්ථාවලදී නගර සභා මගින් කරන්නේ වීදි සුනඛයන් අල්ලාගෙන ගොස් ගෑස් කාමරවල දමා ඝාතනය කිරීම ය. සමහර රාජ්‍ය ආයතනවල අයාලේ යන සුනඛයන් සිටින විට බල්ලන් මරන අයට කොන්ත්‍රාත් දී උන් ඝාතනය කිරීමට ආයතන ප්‍රධානීහු පියවර ගනිති. උදාහරණයක් වශයෙන් මෙයට කලකට පෙර පේරාදෙණි විශ්වවිද්‍යාල භූමියේදී එබන්දක් සිදුවිය. විශ්වවිද්‍යාල භූමියේ සැරිසරන වීදි සුනඛයන්ට සයනයිඩ් ඉන්ජෙක්ෂන් ගසා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් විශ්වවිද්‍යාලයේ සිටින තිරිසන් ප්‍රධානියකු විසින් කොන්ත්‍රාත්කරුවකුට පවරන ලදී. ඒ අනුව කොන්ත්‍රාත්කරු තම පිරිස ලවා ගැබ්බර බැල්ලියන්ට පවා සයනයිඩ් ගැසීමට සැලසුවේය. එම ගැබ්බර බැල්ලියන් කටින් පෙණ දමමින් වෙව්ලා මිය යන හැටි දුරකථනවලින් වීඩියෝ කර තිබිණ. එකල කැමරාවල තාක්ෂණය ඒ තරම් හොඳ නැත. එසේම සමාජ මාධ්‍යය ද මේ තරම් බලවත්ව තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සත්ත්ව සංහාරය වාර්තා කරන ලද්දේ ප්රවෘත්ති පත්‍ර මගින් පමණි. සුනඛයන් සයනයිඩ් කාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උන් රහසිගත ස්ථානවල සඟවා තැබූහ. මේ ආකාරයේම සුනඛ ඝාතන සිදුකරන කෲර අන්‍යාගමික වෛද්‍යවරයෙක් කොළඹ නගර සභාවේ සිටියේය. සුනඛයන් සමග මූලධර්මවාදී වෛරයකින් පසු වූ මේ වෛද්‍යවරයා කොළඹ නගර සභාව සතු බලු වෑන් නගරයේ සෑම දිසාවකටම පිටත් කර සුනඛයන් අල්ලාගෙනවුත් ඝාතනය කරවීය. එවිට තිරිසන් සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංගම් කීපයක් පාරට බැස්ස බැවින් මේ සිද්ධිය ගැන ලොකු කලබලයක් ඇති විය. අන්තිමේදී එවකට සිටි රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ සුනඛ ඝාතනය අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කළේය. නගර සභාවේ සිටි අන්‍යාගමික වෛද්‍යවරයා අද වනවිට සිය විශ්‍රාම ජීවිතය ගත කරනවා ඇත. සමහරවිට ඔහුගේ අවසානය ගෑස් කාමරයක දැමූ සුනඛයකුගේ ශෝකජනක අවසන් මොහොත හා සමාන වීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ නොවේවා!
ඉන්දියාවේ ද වීදි සුනඛ ප්රශ්නය ඉතා ඉහළින් තිබේ. ඒ නිසා වීදි සුනඛයන් ඉවත් කිරීම සඳහා ඉන්දියාවේ නගර සභාවල ප්‍රධානීහු එකඟත්වයකට පැමිණියහ. වීදි සුනඛයන් ඉවත් කරනවා යනුවෙන් ඉන්දියාවේ සඳහන් කරන්නේ එම සතුන්ට ගෑස් ගසා මැරීම හෝ සයනයිඩ් ගසා මැරීම නොවේ. නගරවල සිටින සියලුම වීදි සුනඛයන් වාහනවල පටවාගෙන ගොස් දුර පළාත්වල කැලෑබද ප්‍රදේශවලට අත්හැර දැමීම ‘ඉවත්කිරීමේ ක්‍රියාවලිය’ ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී වීදි සුනඛයන්ට අනර්ථ කිහිපයක් සිදුවේ. එනම් ඉන්දියාවේ කැලෑවල බහුලව සිටින විලෝපිකයන් විසින් සුනඛයන් මරාගෙන කෑමය. එසේම නගරයේ වීදිවල ගැවසී අනුන්ගෙන් ලැබෙන ආහාරවලින් යැපෙන වීදි සුනඛයන්ට කැලෑවෙන් ආහාර ලබාගැනීමට නොහැක. වීදි සුනඛයෝ බත් උයාගෙන නොකති. උන් අනුභව කරන්නේ කවුරු හෝ උයාදෙන බත්වල ඉතිරි ඉඳුල්ය. වීදි සුනඛයන් කැලෑවට ගෙනගොස් දැමීමේ වැඩපිළිවෙළ ඇසූ සුප්‍රකට නළු ජෝන් ඒබ්‍රහම් එම තීරණයට එරෙහිව උසාවි ගියේය. වීදි සුනඛයන් කියා සත්ත්ව වර්ගයක් නොමැති බවත් වීදියේ සිටින සියලුම සුනඛයන් ප්‍රජා සුනඛයන් බවත් ජෝන් ඒබ්‍රහම් අධිකරණයට කීවේය. උසාවිය ඒ කීම පිළිගත්තේය. ඒ අනුව අදටත් ඉන්දියාවේ වීදි සුනඛයෝ මහපාරවල සිටිති. සුනඛ ගහනය අඩු කිරීමේ හැකියාවක් ඇත. ඒ උන් මරා දැමීමෙන් නොව උන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය අවහිර කිරීමෙනි. පිරිමි සුනඛයන් වඳභාවයට පත් කිරීමෙන් සුනඛ ප්‍රජාවේ බෝවීම අඩු වෙයි. අවුරුදු ගණනාවක් යනවිට සමහරවිට වීදි සුනඛ ප්‍රජාව සම්පූර්ණයෙන් අවසන් වී යෑමට පවා පුළුවන.
ජනාධිපති දිසානායක වීදි සුනඛයන්ගේ සුබ සාධනයට මිලියන 100ක් වෙන් කළ විට එයට විරුද්ධ වූ වෘත්තීය සමිතිකාරයෝ අයවැය මගින් විදුහල්පතිවරුන්ට රුපියල් මිලියන 144ක් වෙන් කර ඇති බවත් එය සුනඛයන්ට වෙන් කළ මුදලට වඩා වැඩි වන්නේ මිලියන 44ක් පමණක් බවත් කියමින් ප්රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට පටන්ගෙන තිබේ. මෙය ඉතා ගොන් කතාවකි. සුනඛයා සහ විදුහල්පතිතුමා සම කළ නොහැක. විදුහල්පතිවරයකු කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දහස් ගණනකට ශාස්ත්‍ර ඥානය ලබාදීමට ඉවහල් වන ප්‍රධාන සංවිධායකයා ය. මෙතුමාට මාසිකව වැටුප් ලැබෙයි. විදුහල්පතිතුමා නිතරම උගතෙකි. එසේම විදුහල්පතිවරුන් දස දහසක්වත් මේ රටේ නැත. වීදි සුනඛයා උගතෙක් නොවෙයි. ඌට මාසිකව වැටුප් ගෙවන්නේ ද නැත. ඒ සතා ජීවත් වන්නේ මනුෂ්‍යයාගේ ආදරය, කරුණාව සහ පරිත්‍යාගය මතය. වීදි සුනඛයන් පිළිබඳ කාරණයේදී විදුහල්පතිවරුන් එතැනට ඇදගෙන ඒමෙන් මෝඩ වෘත්තීය සමිතිකාරයෝ ගොන් පාට් එකක් ඇට් කරති. මේ ඇක්ටින්වලට තිත තැබීමට කාලය පැමිණ තිබේ. ඊළඟ අයවැයේදී ජනාධිපති දිසානායක මෙවැනි මෝඩ වෘත්තීය සමිතිකාරයන්ගේ (ඔක්කොම නොවෙයි. සමහරුන්ගේ) ඔළු සකස් කිරීම සඳහා මනෝ වෛද්‍ය සහය ලබාදීම පිණිස රුපියල් මිලියන කීපයක් හෝ වෙන් කළ යුතුය.
Saru FM Media





