Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් විශ්වවිද්‍යාල සිසුවිය පැදවූ රථයේ හැපී පොලිස් කොස්තාපල්වරයකු මරුට

විශ්වවිද්‍යාල සිසුවිය පැදවූ රථයේ හැපී පොලිස් කොස්තාපල්වරයකු මරුට

0
3


police-constable-dies-after-being-hit-by-vehicle-driven-by-university-student

පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ මාරවිල මූලික රෝහල අසලදී සිදුවූ මාරාන්තික රිය අනතුරක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරියකු දැඩි තුවාල ලබා ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.
විසිතුන් හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් විසින් පදවාගෙන ගිය නවීන කාර් රථයක් මාර්ගයෙන් පිටතට පැන

රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට හෙළීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් දැඩි තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කර සිටියදී ඊයේ (13) අලුයම කාලයේ මියගොස් ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
රිය අනතුරට සම්බන්ධ කාර් රථය පැදවූ විශ්වවිද්‍යාල සිසුවිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරෙන් පසු ඇය මානසික කම්පනයට පත්ව සිටින බැවින් පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියකු ලංකාදීපයට ප්‍රකාශ කර ඇත.


යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන මෙම සිසුවිය රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත. විශ්වවිද්‍යාල සිසුවියට නින්ද ගොස් තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශන පවත්වා ඇත.
මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ හලාවත කොට්ඨාස රථ වාහන අංශයේ රාජකාරි කරන, අබේසිංහ මුදියන්සේලාගේ අමිල ලක්මාල් ප්‍රියදර්ශන (72405) නමැති පොලිස් කොස්තාපල්වරයා ය. කුලියාපිටිය, උඩුබද්දාව, වැලිපැන්න ගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම නිලධාරියා එක් දරුවකුගේ පියෙක් වන අතර, ඔහුගේ බිරිඳ දැනට ගැබිනි මවක බව ද පොලිසිය වාර්තා කරයි.
අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොට්ඨාස රථවාහන අංශයටම අනුයුක්තව රාජකාරි කරන පුෂ්පකුමාර (36231) නමැති කොස්තාපල්වරයා ය.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මාරවිල මූලික රෝහල ආසන්නයේ මධ්‍යම රාත්‍රියේ පොලිස් යතුරුපැදිය නතර කරගෙන රථ වාහන රාජකාරියේ නිරතව සිට ඇත. සිද්ධිය වන අවස්ථාවේ දී රථ වාහන වරදක් සම්බන්ධයෙන් යතුරුපැදියක් නතර කරගෙන මියගිය කොස්තාපල්වරයා දඩ කොළයක් ලියමින් සිටියදී, මෙම කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන පොලිස් නිලධාරීන් දෙදෙනාට හෙළී ඇති බව පොලිසිය පවසයි.
කාර් රථයේ ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල ලැබූ අතර, පොලිස් යතුරුපැදියට සහ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නතර කරගෙන සිටි යතුරුපැදියට ද හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.


කාර් රථය අනතුරට පත්වීමත් සමඟම එහි සවිකර තිබූ ආරක්ෂිත බැලුන් (එයාර් බෑග්) ක්‍රියාත්මක වී ඇති බව ද වාර්තා වේ.
විශ්වවිද්‍යාල සිසුවිය ඇගේ මව සහ ආච්චි සමඟ යාපනයේ සිට රත්මලාන බලා ගමන් කරමින් සිටි අතරතුර මෙම අනතුර සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
වඩාත් සැලකිය යුතු කරුණක් වන්නේ, මෙම අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් අමිල ලක්මාල් මහතා, පසුගිය අරගල සමයේදී පොලිස් අධිකාරිවරයකු සමඟ පොලිස් කාර් රථයකින් ගමන් කරමින් සිටියදී, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අරගලකරුවන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා කාර් රථයෙන් එළියට ඇද දමා පහර දී, පොලිස් කාර් රථයට ද ගිනි තබා හානි සිදු කර තිබීමයි. දැඩි ලෙස පහර කෑමට ලක් වූ පොලිස් අධිකාරිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කාලයක් ප්‍රතිකාර ලබා දෙදෙනාම සුවය ලබා තිබූ බව ද පොලිසිය පවසයි.
මෙම මාරාන්තික රිය අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙමින් පවතින අතර, අදාළ විශ්වවිද්‍යාල සිසුවියට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව මාරවිල පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here