විශ්‍රාමික 21 වැනි පාඨමාලා විශේෂ බළකා සෙබළු තෑගී බෝග රැගෙන අම්පාර නියුගුණ සද්ධාතිස්ස විදුහලට නෑ ගමන් යති

0
6

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා…

රටේ පැවති තිස් වසරක යුද්ධය හමුවේ ඔවුන් තරම් යුද බිමේ පෙරමුණ ගෙන සතුරා සමග මුහුණට මුහුණ සටනක් දුන් තවත් සෙබළ කැලක් නැති තරම් ය. විටෙක දිගු දුර විහිදුම් කටයුතු සඳහා පිටව ගිය ඔවුහු සතුරාට අවාසිදායක වන අයුරින් නොසිතූ ඉලක්ක ජයගත්තේ බොහෝ විට තම ජීවිතය පරදුවට තබමිනි. තවත් විටෙක රාත්‍රියේ පවා වතුරේ කිමිදෙමින් සතුරා අන්දමන්ද වන ප්‍රහාර එල්ල කළේ රට ත්‍රස්තවාදී තර්ජනයෙන් මුදවා ගැනීමේ අප්‍රතිහත අරමුණෙනි. විටෙක යතුරුපැදි බලඝනයක් ලෙස ක්ෂණික විහිදුම් ක්‍රියාන්විතයේ යෙදුණේ බිය කොහේදැයි නොතකමිනි. තවත් විටෙක නගරබද ප්‍රහාර සඳහා ඔවුහු කදිම පුහුණුවක් ලද්දේ සතුරා අගනුවරටම පැමිණ සිදුකරන ප්‍රහාරවලට පළිහක් වෙමින් නිමේෂයකින් සතුරු උවදුරු මැඬපැවැත්වීම සඳහා ය.

ඒ කෙසේ වෙතත්, සතුරු කඳවුරු සොයා ගිය ගමනේ අප මෙන්ම සම්-ඇස්-ලේ-නහර වලින් සැදුණු මේ සෙබළ තොමෝද ඇතැම් විට සතුරාගේ ඉලක්කය බවට පත්වී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි දුන් සාමාජිකයන් බවට පත්වී මේ මිහිමව් තුරුළේ රන් අකුරින් තම නාමය සනිටුහන් කරගත්හ.

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන උදෘතය යටතේ තම සතුරු ඉලක්ක හඹා ගොස් සතුරාට අමතක නොවන පාඩම් කියා දුන් මේ සෙබළ කැළ අන් කවරකුද නොව, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායයි. රෙජිමේන්තු 04 කින් සමන්විත විශේෂ බළකායේ පාඨමාලා රාශියක් අතුරින් 1996 දී පුහුණුව ලැබූ 21 පාඨමාලාවේ සෙබළ බලමුළුව ද ඊළාම් යුද්ධයට එරෙහිව අමතක කළ නොහැකි වැඩකොටසක් කළ කණ්ඩායමකි.

1094 දෙනකුගෙන් සමන්විත වූ මෙම සෙබළ බලමුළුවේ සාර්ථකව විශේෂ බළකා පුහුණුව නිම කළ සෙබළ සංඛ්‍යාව 162 නෙකි. අනතුරුව රෙජිමේන්තු 04 විසිර ගොස්, අමතක නොවන ක්‍රියාන්විත සේවයක් රට වෙනුවෙන් ඉටුකරන ලද මෙම 21 පාඨමාලාවේ සෙබළ මුළුව 2018 වසරේදී විශ්‍රාම යන්නේ වසර 22 ක සේවා කාලයකින් පසුව ය. එනමුත්, ජීවිතයෙන්-මිත්‍රත්වයෙන් විසිර නොගිය ඔවුහු මෙසේ විශ්‍රාමික සොයුරු කැළ නියෝජනය කරන “විශේෂ බළකා 21 වැනි පාඨමාලා විශ්‍රාමික සංවිධානය” පිහිටුවා ගනු ලබන්නේ සාමාජිකයන් 68 දෙනකුගෙන් සමන්විතව තම සුබසාධනයටත් වඩා, පවුල් අතර මිත්‍රත්ව සබඳතා ඇතිකරන්නට ය. එනම්, පළමු, දෙවන, තෙවැනි සහ හතරවැනි විශේෂ බළකා යන සියල්ලම නියෝජනය කරන මෙම 21 වැනි කණ්ඩායම අඩුම තරමින් වසරක් පාසා මුණගැසී තම මිත්‍රත්වය රැකගන්නට කුමන හෝ වැඩසටහනක් සිදුකරනු ලබන්නේ මීට වසර 04 කට පමණ පෙර සිටය.

ඒ අනුව පළමු වසර තුනේදීම සාමාජිකයන් තම දරු පවුල් වශයෙන් රටේ කොතැනකදී හෝ එක්ව විනෝදයට බරව ගෙවා දැමූ මෙම විශ්‍රාමික හමුව නව සන්ධිස්ථානයකට පැමිණෙන්නේ පසුගිය 2024 වසරේ සිටය. එනම්, තමන් සතුට වෙනුවෙන් විය-හියදම් කරන ලක්ෂ ගණනක මුදලින් යම් සමාජ සත්කාරක කාර්යයක් ඉටුකිරීම සුදුසුය යන මතයට පැමිණෙන සමිති සාමාජිකයන් එම වසරේදී තම දුවා දරුවන්ටම සහ බිරින්දෑවරුන්ට උපහාර දක්වන්නේ තමන් කුරිරු යුද්ධයකට මුහුණදී සිටින විට තම ගෙදර දොර කටයුතු බලා කියාගෙන තමන්ට දක්වන ලද සහායට කෘතගුණ සැලකීමක් වෙනුවෙනි. එතැනින් තවත් පියවරක් ඔබ්බට තබන මෙම විශේෂ බළකා විශ්‍රාමික සංවිධානය මෙවර තවත් වැදගත් සමාජ සත්කාරයකට පියවර ඔසවන්නේ දිනක් මාතරදී නෙත ගැටුණු දිළිඳු පාසල් දරුවකු දැකීමෙන් හටගත් පහන් සංවේගයෙන් බව විශ්‍රාමික විශේෂ බළකා සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් නිශාන්ත පවසයි. එනම්, සෙරෙප්පු දෙකක් පැළඳ, ආය කටු (හැට්ට කටු) 20 ක් පමණ ගැසූ පාසල් බෑගයක් අරං යන දියණියක දුටු ඔවුන් තීන්දු කර ඇත්තේ එවන් දරුවන්ට මින් පසු වාර්ෂිකව ප්‍රධානයක් කරන්නට තම සංවිධානය කටයුතු කළ යුතු බවයි.

සංවිධානයේ සාමාජික ගාමිණී වීරසිංහ විසින් කරන ලද එවැනි කටයුතු කිහිපයක් ද අනුව යමින් මෙවර 2025 වසරේදී ඔවුන් තම සමාජ සත්කාරක වැඩසටහන ලෙස යොදාගනු ලැබුවේ අම්පාර දිස්ත්‍රික්කයේ එරගම බටහිර නියුගුණ සද්ධාතිස්ස ප්‍රාථමික විදුහලයි. සමිතියේ සාමාජිකයකුගේ තෝරාගැනීම පරිදි විද්‍යාලයේ විදුහල්පතිනිය කේ. ඒ. එස්. ප්‍රියන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් විදුහලේ සිටින 41 ක් වන සියලුම සිසු දරුවන් සඳහා සපත්තු යුගලයේ සිට පාසල් බෑග්, පොත්-පත්, වතුර බෝතල් යනාදී වසරකට සෑහෙන සියලුම පාසල් උපකරණ සහ රසකැවිලි යනාදියද පරිත්‍යාගයක් ඉකුත්දා සිදුකරන ලද්දේ සිසු දරුවන්, එම දෙමව්පියන්, ගුරුවරුන් සහ වැඩිමනත් සංගමයේ සාමාජිකයන් සහ දරු-පවුල් යනාදි දෙපිරිසම සතුටු ගඟුලක ගිල්වමිනි. එමෙන්ම විදුහල සඳහා පරිගණක වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, විදුහලේ පරිහරණය සඳහා ක්‍රීඩා උපකරණ වැනි රුපියල් ලක්ෂ 13 කට වැඩි වටිනාකමකින් සමන්විත පරිත්‍යාගයක් කරන්නට හැකිවූ බව සංවිධායකවරයා ඇතුළු සමිති සාමාජිකයෝ පවසති. මෙම පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 09 ක් පමණ බඩු භාණ්ඩ තමන්ටද පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු බව විශ්‍රාමික විශේෂ බළකා සංගමයේ 21 වැනි සෙබළ මුළුව පවසයි. මෙම අවස්ථාව තමන්ට ද සතුටුදායක අවස්ථාවක් බව පවසන සංගමය කියා සිටින්නේ දරුවන්ගේ සතුටු කඳුළු මධ්‍යයේ තමන් තවදුරටත් දිරිමත්වී 2026 වසරේ මෙවැනිම පරිත්‍යාගයක් අනුරාධපුර පාසලකට සිදුකිරීමට තමන් කටයුතු කරන බවයි. මෙම අවස්ථාවේ හඬ අවදි කළ විදුහලේ විදුහල්පතිනිය කේ. ඒ. එස්. ප්‍රියන්ති මහත්මිය කියා සිටියේ ඉතා දුප්පත් දරුවන් වෙසෙන මෙවැනි ප්‍රදේශයක තම පාසල මේ සඳහා තෝරාගැනීම සතුට දනවන කාරණයක් බවයි

ජගත් කණහැරආරච්චි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here