විශ්මිගේ පිති හරඹය සහ කණ්ඩායමේ විශ්මිත පන්දු රැකීම නිසා දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාවට ජය

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 23, කොළඹ LNW:

තමන්ගේ මව් රටේදීම අනපේක්ෂිත ආකාරයෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පරාජයට පත්වෙද්දී කාන්තා කණ්ඩායම කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව සිය දෙවන එක්දින තරගයද ජය ගැනීමට සමත් විය.ලකුණු ගලා ඒම දුෂ්කර වු තණතීරුවක 20 හැවිරිදි විශ්මි ගුණරත්න සිඳු කළ සංයමය සහ වේගය කලවම් වූ පිති හරඹය පන්දු 66 දී ලැබූ ලකුණු 58 ජයග්‍රහණයේ පදනම වූ අතර ඒ නිසාම ඇය තරගයේ වීරවරිය ලෙස ද අභිශේක ලැබුවාය.විශ්මි තරමට ශ්‍රී ලංකා කණ්ඩායම උඩ පන්දු රැක ගැනිමේදි දැක් වූ දස්කම් ද මේ ජයග්‍රහණයට පාර කියා දුන්නේය.
විශ්මි ලකුණු 35 ක් ලැබූ හර්ෂිතා සමරවික්‍රම සමඟ තෙවන කඩුල්ලට ලකුණු 42 ක සබඳතාවයක් පැවත්වීය.යළි පස්වන කඩුල්ල වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා සමඟ ලකුණු 40 ක සබඳතාවයක් රඳවා ගන්නට සමත් විය.වැදගත්ම දේ අංක 4 පිතිකරුව පිටියට පිවිස ඇය අටවන කඩුල්ල ලෙස දැවී යන තෙක් පිටියේ රැඳෙමින් ඉටු කළ කණ්ඩායම රඳා පවත්වා ගැනිමේ මෙහෙයුමය.
කරිශ්මා රාම්හරක් ශ්‍රී ලංකාවට එරෙහිව විශාලම පීඩනය ගෙන දුන් ක්‍රීඩිකාව වූවාය.ඇය පන්දු ඕවර් 9.1 යවා ලකුණු 26 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත්තාය.පිිතිකරණයට වඩා පන්දුවට ආශිර්වාද ඇති තණතිල්ලක ශ්‍රී ලංකා කණ්ඩායමට යා හැකි දුර වූයේ ලකුණු 208 ක් පමණි.

මේ ලකුණු ප්‍රමාණය හඹායාමේ වගකීමට උර දෙන්නට කොදෙව් පිතිකාරිනියන්ට පහසු වූයේ නැත.එහෙත් පළමු තරගයේදීත් පරාජය ඉදිරියේ තරගය අත් නොහැරි ජනිලි ග්ලාස්ගව් පහසුවෙන් තරගය අත් හරින්නට සූදානම් වූයේ නැත.පන්දු 13 දී ලකුණු 15 ක් දක්වා ඉලක්කය අඩු වී තිබිණ.ඇය එක් අන්තයක සිට පන්දු ගණනට වඩා ලකුණු ගණන අඩු කළ අවස්ථා ද තිබිණ.එහෙත් ඒ අවස්ථාවන් හී ශ්‍රී ලංකාව අනෙක් අන්තයෙන් කඩුුලු දවා ගනිමින් පීඩනය කළමණාකරනය කර ගැනීමට සමත් විය.එහෙත් පන්දු 13 දී ලකුණු 15 ක් යන්නත් ග්ලාස්ගව් පන්දුවට පහර දෙමින් සිටි ආකාරයට ලොකු ඉලක්කයක් නොවිණි.එහිදී මිඩෝෆ් කළාපයේ සිට විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගන්නා කවීශා දිල්හාරි හැමවිටම තීරණාත්මක අභියෝග පැමිණෙන මොහොතේ දී පසුනොබා තමන් ඉදිරිපත්විමේ ගුණය පෙන්වන නායිකා චමරි අතපත්තුට කඩුල්ලක් ලබා දෙමින් කොදෙව් ඉණිම 194 ට සීමා කළාය.

එසේම නව වන කඩුල්ල ලෙස දැවී ගිය ප්ලෙචර් දවා ගැනීමට අතිරේක ක්‍රීඩිකාවක් ලෙස පිටියට පිවිස ඉමේෂා දුලානි රැකගත් උඩ පන්දුවද පහසුවෙන් අමතක කළ නොහැකි එකකි.ක්යාන් ජෝෂප් දවා ගැනීමට මල්කි මධාරා රැකගත් උඩ පන්දුව,ස්ටෙෆ්නි ටේලර් දවා ගැනීමට පා ඉන්න දෙසින් කඩුලු රකින නෘත්‍යංගනා රැකගත් උඩ පන්දුව,චිනලි හෙන්රි දවා ගැනීමට හසිනි පෙරේරා රැකගත් උඩ පන්දුව,ආලියා ඇලෙයින් දවා ගැනීමට හර්ෂිතා සමරවික්‍රම රැකගත් උඩ පන්දුව,සවිනිශා හෙක්ටර් දවා ගැනීමට නිලක්ෂිකා සිල්වා රැක ගත් උඩ පන්දුව යනා දී උඩ පන්දු රැක ගැනීම ඉතා ඉහළ මට්ටමකින් ශ්‍රී ලංකාව පවත්වාගෙන ගියේය.එසේම සෙමයින් කැම්බල් දවා ගැනීම සඳහා නෘත්‍යාංගනා විසින් කළ ස්ටම්ප් කිරිමත් අසරු සැනෙකින් සිඳු වූ විශිෂ්ට එකක් විය.

පන්දු රැකීමෙන් ලැබුණු ඒ සහය ඇතුව හොඳම ප්‍රතිපල නෙලා ගත් පන්දු යවන්නිය වූයේ සුගන්ධිකා කුමාරිය.ඇය ලකුණු 38 ට කඩුලු 3 ක් දවා ගත්තාය.පරිණත ඉනෝකා රණවීර යළිත් ලකුණු 44 ට කඩුලු 3 ක් දවා ගත අතර පළමු තරගයේදී මෙන්ම පිතිකාරිණියන්ට ලකුණු ලබා ගැනීමට බාධා කළ දෙව්මි විහිංගා මේ තරගයේදීත් ලකුණු 33 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තාය.පන්දු රැකීමට බාධා කිරීමේ දුර්ලභ දැවී යාමට මුහුණ දෙමින් කොදෙව් කණ්ඩායමේ දේන්ද්‍රා ඩොටින් දැවී ගිය ආකාරය අවාසනාවන්ත වුණත්,ඇය පෙරළා කඩුල්ලට යා හැකි යැයි සිතිය හැකි වුවත් එය අලුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැරඹා අවබෝධ කර ගත යුතු නොකළ යුතු දෙයකි.
පහතින් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය. https://bit.ly/3MT7BC1

The post විශ්මිගේ පිති හරඹය සහ කණ්ඩායමේ විශ්මිත පන්දු රැකීම නිසා දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාවට ජය appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here