“දෙ නුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි”
ආදරේ සම්පූර්ණ වෙනවානේ කසාද බැන්දට පස්සෙ.
දෙනුවරක එකතු වීම වගේම තමයි ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් නෑ හිතවතුන් ඉදිරියේ, නීතිය ඉදිරියේ, සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද එකතුවීම, එහෙම නැත්තම් මේ විවාහ වීම අපි මහ ඉහළින් සමරනවා.
ඇත්ත විවාහයක් කියන්නෙ කසාද බඳින දෙන්නට විතරක් නෙවෙයි හත්මුතු පරම්පරාවකටම සන්තෝස වෙන්න පුළුවන් කාරණාවක්.
ඉතින් ඔය පරම්පරාවේ හැමෝගෙම හිත් වලට සතුට අරගෙන ඇවිත් කසාද බැඳපු ජෝඩුව ආදරේ කරපු කාලේ වගේම බැන්දට පස්සෙත්, ජීවිතේ බෝරිං කරගන්නෙ නැතුව ගෙවන්නේ කොහොමද?
අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.
“යාලු වෙලා ඉන්න කාලේ වගේ නෙවෙයි අනේ බැන්දම. ඔය ලව් කරන කොට වගේ නිතරම තුරුල් වෙලා ඉන්න බෑ. කොච්චර නම් වැඩ තියෙනවද?”
මේ කතාව නම් අහලා ඇති ඔයා ඕන තරම්. ඇත්ත ගොඩක් අයට නම් මේ කතාව 100%ක් ඇත්ත වුණාට, අපිට බැරිද මේ කතාව වෙනස් කරන්න?
ඒ කිව්වේ යාලු වෙලා ඉඳපු කාලේ වගේම කසාද ජීවිතෙත් ගෙවන්න?
ආදරේ කරපු හිත් දෙකක් හැම විදියටම එකතු වීම තමයි විවාහයක් කියන්නේ. ඉතින් ආදරේ කරපු කාලෙටත් වඩා නිදහසේ දේවල් Explore කරන්න කසාද බැන්දම ඉඩ ලැබෙනවා.
ඉතින් ඒ ඉඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක ඔයාලට භාරයි.
ඕනම කෙනෙක් ඉතින් ෆිල්ම්ස්, ටී වී සීරිස් බලන්න ආසයිනේ. යාලු වුණ කාලෙ නම් සමහර වෙලාවට ගෙදරට හොරෙන් ෆිල්ම් බලන්න ගියපු සුන්දර මතකයන් ඕනතරම් ඇති.
බැන්දට පස්සෙත් ඒ වගේ ෆිල්ම්ස් බලන්න යන්න අමතක කරන්න එපා.
දෙන්නම ඔෆිස් යන දෙන්නෙක් නම් සිකුරාදා හවසට, එහෙමත් නැත්තම් වීක් එන්ඩ් එකේ දවසක ෆිල්ම් එකක් බලන්න එළියට යන්න.
ෆිල්ම් එක බලලා ඉවර වෙලා එළියෙන් මොනවා හරි කාලා එන්න. ඒ වෙලාවේ ඔයාලගේ ජීවිතේ ගැන, අනාගතේ ගැන මොනතරමක් දේවල් නම් කතාකරන්න ඔයාලට ඉඩ ලැබෙනවද?
කසාද බැන්ද අලුත කියල ගෙදරටම වෙලා ඉන්න ඕන නෑනේ.
දරු මල්ලො හදන්න කළින් ඔයාලා දෙන්නටම වෙන්වුණ මේ ලස්සන වසන්ත කාලේ හැම මොහොතක්ම හැකි උපරිමෙන්ම විඳින්න.
පුංචි මූවී නයිට් එකකට ගෙදරින් යන්නම ඕන නැහැ.
ගෙදරම වුණත් Netflix ඔස්සේ හරි එහෙමත් නැත්තම් ඩවුන්ලෝඩ් කරලා වුණත් ලස්සන මූවී එකක් බලන්න ඔයාට පුළුවන්.
මහ ලොකු දෙයක් ඕන නෑ. පොඩි අනං මනං කෑම ටිකක්, කෝපි එකක් හෝ දෙහි බීමක් වගේ එක්ක, කලුවරේ එකිනෙකාට තුරුල් වෙලා මූවී එකක් බලන එක බැඳපු ජෝඩුවකට මොනතරම් නම් මිහිරක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
යාළු වෙච්ච කාලේ නම් අව්ව, වැස්ස වගක් නැතුව ඇවිද්ද ඔයාලා දෙන්න කසාද බැන්දට පස්සෙ ඇවිදින එක අඩු කරලා නම් ඔන්න ආයෙමත් ඒ ගමන් පටන් ගන්න මේ තමයි හොඳම මොහොත.
යාළු වෙලා ඉන්න කාලෙ ඉතින් හැමදේම කතාකරන්න, බෙදා හදා ගන්න තිබුණ හොඳම විදියනෙ එහෙ මෙහෙ ඇවිදින්න යන එක.
බැන්දට පස්සේ එහෙ මෙහෙ ඇවිදින්න යන එකෙනුත් ඔයාලගේ ඒකාකාරී ජීවිතේට අලුත් වෙනසක් එකතු කරාවි.
වාහනයක් තියෙනම් එක දවසෙ රෝඩ් ට්‍රිප්ස් යන්න ඔයාලට පුලුවන්. එහෙම නැත්තම් දෙන්නත් එක්කම බස් එකේ කෝච්චියේ වුණත් යන්න පුළුවන්.
මේ ගමන් ගොඩක්ම දුර ගමන් වෙන්න ඕන නෑ. කොළඹ අවට නම් දෙන්නත් එක්ක එකතුවෙලා කන්න මොනවහරි ටිකක් හදාගෙන විහාරමහා දේවි උද්‍යානයට පොඩි පික්නික් එකක් යන්න.
එහෙමත් නැත්තම් දිය සරු උයනට, දියතට වගේ යන්නත් පුළුවන්.
දුර ගමනක් යන්න ඉඩ තියෙන වෙලාවක නම් සීතාවක තෙත් බිම් උද්‍යානය, එහෙමත් නැත්තම් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, ජෙෆ්‍රි බාවාගේ ලස්සනම ලස්සන උද්‍යානය සහ නිවස බලන්න යන්නත් ඔයාලට පුළුවන්.
යන අතරමග පොඩි හෝටලේකින් හරි පාරෙ අයිනෙ තියෙන පුංචි රොටි කඩේකින් රොටියි ප්ලේන්ටි යි කෑව බිව්ව වුණත් ඒ ගමනෙන් ජීවිතේට එකතු වෙන රස වචනවලින් කියන්න බැරි තරම්.
Saru FM Media