වියට්නාම සංචාරයේ නිරත ජනපති අද එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හමුවෙයි

0
2


වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. 

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු සාමාජිකයෙකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය න්ගුයෙන් මන් කුඕං මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින්. 

එම පිළිගැනීමේ අවස්ථාවට  ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති වන ටි්‍රන් තී ටැම්, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා යන මහත්ම මහත්මින් සහ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක්ද සහභාගි වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා හමුවීමට නියමිතයි. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට දිනයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමට ද නියමිත බවයි. 

මේ අතර හෝ චි මිං නගරයේදී ලබන 06 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනය පවත්වනු ඇති. 

එමෙන්ම එම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here