මරණ දඬුවම තහවුරුයි
2012 වසරේදී කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කිරීම හා තවත් අයකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කර තංගල්ල මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩන නියෝගය අභියෝගයට ලක් කරමින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07දා) ප්‍රතික්ෂේප කළේය.
නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නොවන ආරක්ෂකයකු ලෙස කටයුතු කළ එම විත්තිකරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වෛi නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එකී රැස්වීමට තවත් පිරිසක් සමඟ කඩවැදී තමන් ‘මැදමුලන වලව්වේ මුරබල්ලා’ බවට ගෝරනාඩු කරමින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව නඩු විභාගයේදී හෙළි විය. 2012.06.15 වැනිදා කළ එකී වෙඩි තැබීමෙන් එදිරිමාන්නගේ මාලනී සහ ජයසේකර පතිරණගේ නිමන්ත හේරත් නමැති දෙදෙනා මියගිය අතර සුජිත් තරංග නමැති තරුණයා බරපතළ තුවාල ලැබීය.
නීතිපතිවරයා විසින් 2016. 01. 07 වැනිදා ගීගන ගමගේ අමරසිරි නමැති විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් විභාග කළ එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ආර්. එස්. එස්. සපුවිද මහතා 2019 නොවැම්බර් 17 වැනිදා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කොට තිබූ අතර එකී මරණීය දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාව ද අභියාචනාධිකරණය විසින් 2024. 11. 20 වැනිදා ප්‍රතික්ෂේප කොට මහාධිකරණ තීන්දුව අනුමත කොට තිබිණි.
එකී අභියාචනාධිකරණ තීන්දුව හා මහාධිකරණ තීන්දුව බලරහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හෙතෙම එම අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media