විඳිමු…මන්නරමු – වෙඩිතලතිවු තෙත්බිමේ අසිරිය

0
12

දින කිහිපයක සංචාරයක් ලෙස මෙවර අප ‘සංචාරේ’ කණ්ඩායම ගමන් කළේ මන්නාරම ඔස්සේ යාපන අර්ධද්වීපය වෙත ය. ඒ සඳහා කොළඹ සිට අනුරාධපුරය ඔස්සේ මැදවච්චියට දුම්රියෙන් ගමන් කළ අපි, එතැනින් මන්නාරම ඒ-14 පාර ඔස්සේ මන්නාරමට ළඟා වූයේ දහවල ඉකුත්ව සවස් යාමය එළැඹෙන විටදී ය. එනම්, කොළඹ සිට මැදවච්චිය දක්වා කිලෝමීටර් 330 ක් පමණද, මැදවච්චියේ සිට කිලෝමීටර් 85 ක් පමණද ගෙවා අප පැමිණි ගමනේදී එදා අපගේ නවාතැන වූයේ මන්නාරම් නගරයයි.

වෙඩිතලතිව් ධීවර වරාය

මේ සංචාරයේදී මන්නාරම හෝ තලෙයිමන්නාරම අපගේ සංචාරක සිතියමට ඇතුළත් නොවූ බැවින් එම ප්‍රදේශවල සංචාරය නොකර, මන්නාරමෙන් උතුරට වැටී ඇති පුනරීන්-සංගුපිඩ්ඩි පාලම ඔස්සේ ඒ 32 මාර්ගයෙන් යාපනයට යන සංචාරය අප සැලසුම් කරගත්තේ පළමුව මන්නාරමට උතුරින් හමුවන ‘වෙඩිතලතිව්’ කඩොලාන තෙත් බිමේ සංචාරයකට එක්වෙමිනි. ඒ මන්නාරමේ නතර වූ රාත්‍රියෙන් පසුවදා ය. මෙම මාර්ගයෙන් අවස්ථා කිහිපයක් අප යාපනය දක්වා ගමන් කර ඇති නමුත්, මෙම මාර්ගයේ දෙපස හමුවන පාරිසරික සෞන්දර්යාත්මක ස්ථාන ගවේෂණය සඳහා අපට වැඩි අවස්ථාවක් හිමිවූයේ නැත. ඒ අනුව, කිලෝමීටර් 80 කට පමණ ආසන්න මන්නාරම-නාවක්කුලිය ඔස්සේ යාපනය මාර්ගයේ හමුවන මෙකී සුන්දරත්වයෙන් පිරි ස්ථාන කිහිපයක් මෙවර අපගේ සංචාරයේ අරමුණ වූ නමුත්, සම්පූර්ණ යාපනය අර්ධද්වීපයම ආවරණය කර තොරතුරු එකතුවක් ගෙන එන්නට නම් අපට තවත් අවස්ථා කිහිපයක්ම උතුරට යන්නට සිදුවේ. එතෙක් අප මෙම මාර්ගයේ හමුවන ස්ථාන කිහිපයක් පමණක් ගැන මෙසේ තොරතුරු ගෙන එන්නේ පසුගිය දින කිහිපයක් මෙම ප්‍රදේශයේ ගතකර ලබාගත් අපූරු අත්දැකීම් සමුදායක් ඔබ හා බෙදා හදා ගැනීමේ අපේක්ෂාවෙනි.

පසුදා හිරු නැගෙන උදෑසනම මන්නාරමෙන් ගමන් ආරම්භ කළ අපි උතුරු දෙසට ගමන් කළේ එතැන් සිට කිලෝමීටර් 20 කින් පමණ හමුවන ‘වෙඩිතලතිව්’ පාරිසරික නිකේතනය දකින්නටය. එනම් පාරිසරික නිකේතනයක් ගැන කතා කළද, සැබැවින්ම වෙඩිතලතිව් යනු, ගම්මාන ප්‍රදේශයකි. මන්නාරම් බොක්කත් සමග උතුරට විහිද යන වෙරළාශ්‍රිත තෙත්බිමක් වන මෙහි ලවණ වගුරු, කලපු සහ කඩොලාන පරිසර පද්ධති බහුලය. සැබැවින්ම මෙහි ඇති අපූරු කඩොලාන වනාන්තර සංකීර්ණය නිසා කලක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබුණු වෙඩිතලතිව්, යුද්ධයේ මර්මස්ථානයක් බවට පත්ව තිබුණු තැනකි. නොහොත්, මෙහි පවතින වගුරු තෙත්බිම් කඩොලාන වනාන්තර සහ ඒ අතරින් ස්වාභාවිකව නිර්මාණය වුණු ජල මාර්ග සංකීර්ණය ත්‍රස්තවාදීන්ගේ සැඟව පහරදෙන ආරක්ෂිත නාවික කඳවුරක් ලෙස භාවිතයට ගෙන තිබුණු අතර, මෙම සැඟවුණු කඳවුරු සංකීර්ණය ගුවනටවත් නිරීක්ෂණය නොවන ආකාරයට කඩොලාන වනාන්තරය තුළ ස්ථාපනය කර තිබී ඇත.

එවන් අපූරු සැඟවුණු කඩොලාන සංකීර්ණයක් වන වෙඩිතලතිව් ප්‍රදේශය අපූරු මුහුදු තෙත්බිම් පරිසර සංකීර්ණයකි. මෙම සමස්ත ප්‍රදේශය ධීවර ප්‍රදේශයකි. එනම්, අතීතයේ පටන් ධීවර කටයුතුවල නිරතවන වෙඩිතලතිව් ජනයා, ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවලට මෙන්ම කලපු ධීවර කටයුතු සඳහා ද ප්‍රකට ය. 30 වසරක යුද්ධයේ කුරිරු ශාපයට ගොදුරුව සිටි වෙඩිතලතිව් ජනයා සිව් වන ඊලාම් යුද්ධය ආරම්භයේදීම මන්නාරමෙන් ආරම්භ කරන ලද හමුදා මෙහෙයුම් මගින් මුදාගත් පළමු ගම්මාන සංකීර්ණය විය. අනතුරුව සාමයේ අරුණාලෝකයෙන් පිබිදුණු වෙඩිතලතිව් ගම්මානය ජාතික ආර්ථිකයට පණ දෙමින් ධීවර වරායක්, ධීවර ගම්ම්නයක් ලෙස රටට සිදුකරන්නේ අමිල මෙහෙයකි. එසේම, ශ්‍රී ලංකාවේ කඩොලාන බිම් අතරින් පෙරමුණේ සිටින වෙඩිතලතිව් කඩොලාන සංකීර්ණය රටටත් ලෝකයටත් ප්‍රාණ වායුව සපයමින්, එසේම, මුහුදු ජෛව විවිධත්වය පෝෂණය කිරීමෙහිලා සිදුකරනු ලබන්නේ අපමණ මෙහෙයකි.

මන්නාරම නගරය / තිරුකේතීෂ්වරන් දෙවොල

එවන් වටිනා කඩොලාන තෙත් බිම් සංකීර්ණයක් වනසා, ඉස්සන් වගාව සඳහා කලපු පද්ධතිය භාවිතයට ගන්නට පෙර පැවති රජයන් අසාර්ථක උත්සාහයන් ගනු ලැබූවද, පරිසරවේදීන්ගේ, ගම්වැසියන්ගේ විරෝධතා හේතුවෙන් ඒවා වළකාගන්නට හැකිවීම වාසනාවකි. 2016 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේදී ඔහු පාරිසරික අමාත්‍යවරයා ද වූ නිසා වෙඩිතලතිව් ඇතුළු මන්නාරම් තෙත්බිම් කලාපය හෙක්ටයාර් 29,000 ක රක්ෂිත ප්‍රදේශයක් ලෙස (ස්වාභාවික රක්ෂිතයක්) ප්‍රකාශයට පත්කළද, එම ගැසට් නිවේදනය අවලංගු කර මෙසේ ඉස්සන් කොටු සඳහා ඉඩම් ලබාදෙන්නට පසු පැමිණි ආණ්ඩු ක්‍රියා කළද, එම උත්සාහයන් අසාර්ථක විය. ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන භූමිය ලෙස සලකන මෙම අපූරු තෙත් බිමේ ගුවන් ඡායාරූපයක් ගන්නට දිනක් ලියුම්කරුට අවස්ථාවක් උදාවිය. ඒ කටුනායක සිට පලාලි දක්වා ගුවන් හමුදාවට අයත් ‘ඇන්ටනොව් 32’ යානයකින් අඩි 32,000 ක පමණ උසකින් පියාසර කරමින් සිටියදී ය. පැහැපත් කාලගුණයක් සහිත වූ ඒ උදෑසන මාගේ තෙවැනි ඇසට හසු වූ ඒ දසුනේ එක් ඡායාරූපයක් අද මෙම පිටුව සරසනු ඇත.

කෙසේ හෝ මන්නාරමෙන් උදෑසන ගමන් ඇරඹූ අපි, පළමුව ගියේ මන්නාරමට උතුරින් පිහිටි හින්දූන්ගේ පූජනීය ස්ථානයක් වන ‘තිරුකේතීශ්වරන්’ ශිව දෙවොල වෙතය. මෙවන් ශිව කෝවිල් 5 ක් ශ්‍රී ලංකාවේ ඇත. ඒ යාපනය කීරමලේ, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම සහ හලාවත ය. එම කෝවිල් අතරින් මන්නාරම් ජනයා පමණක් නොව, වෙනත් ප්‍රදේශවල හින්දූන් ද වන්දනා කරන්නට පැමිණෙන මෙම ‘තිරුකේතීශ්වරන්’ කෝවිලට ගොස් ආශිර්වාද ප්‍රාර්ථනය කරගත් අපි, ඉන්පසු කෙළින්ම ‘වෙඩිතලතිව්’ ගම්මානය බලා ගියේ කලින් සැලසුම් කරගත් පරිදිය. අපි එහි යනවිටත් කලපු ගමනට අවශ්‍ය බෝට්ටුවක් එහි සූදානම්ව පැවැති අතර, ධීවර කාර්මිකයින් පිරිසක් පමණක් නොව, පරිසරවේදීන් පිරිසක්ද එහි පැමිණ සිටියහ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වෙඩිතලතිව් ස්වභාව රක්ෂිත භූමියේ සංචාරය සඳහා අප කලින් එම නිලධාරීන් දැනුවත් කර තිබුණු අතර අනතුරුව කඩොලාන වනාන්තරයෙන් පිරුණු සහ කඩොලාන අතරින් සැදුණු ස්වාභාවික ඇළ මාර්ග දිගේ මේ අපූරු තෙත්බිමේ අප ගමන් ගත්තේ ජීවිතයේ කවරදාකවත් නොලැබුණු තෘප්තියක් ලබමිනි. බටහිර මුහුදේ වෙරළ ඉම පිහිටි මෙම වෙඩිතලතිව් කඩොලාන සංකීර්ණය තුළින් ගමන් ගන්නා අත්දැකීම නිමා කළ නොහැක්කක් වන නමුදු, කාලයට ඉඩදී දහවල මේ දිනවල පවතින ගිනිගහන අව්වෙන් බේරීම සඳහා හිරු මුදුන් යාමයේ සංචාරය අවසන් කළ යුතු වූ නමුදු, සැබැවින්ම අප කල්පනා කළේ, උදේ මෙන්ම සවස හිරු බැස හිරු මුහුදේ සැඟව යන තුරා තවත් දිනෙක මේ තෙත්බිමේ පහස අත්විඳින්නට පැමිණිය යුතු බවය.

මේ ගමනේදී කඩොලාන පරිසරයේ පමණක් නොව, වෙඩිතලතිව් ධීවර වරායේ, එම ගම්මානයේ ඇවිද යමින් ඒ ගැමියන්ගේ ජීවිතයට එබී බලන්නට ද අපට අවස්ථාව උදාවිය. ඒවා වෙනම කතා කළ යුතු මාතෘකා වන බැවින් අද දවසේ අපගේ ‘සංචාරේ’ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිත කඩොලාන වනාන්තර තෙත්බිමේ සංචාරයට සීමාකර තවත් දවසකට උතුරේ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වන්නට අප තීන්දු කළේ ඉතා කෙටි සංචාරයකට යාපනය බලා මේ යන ගමනේ මෙම පරිසරයවත් විඳගන්නට ලැබුණු මේ අනගි අවස්ථාවට පිං දෙමිනි.

වෙඩිතලතිව් කඩොලාන රක්ෂිත කළපුව

සැරිසර සහ ඡායාරූප ජගත් කණහැරආරච්චි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here