විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

0
8

“කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණදෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදේශගත සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් උදෙසා ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි.

විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක්වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කෙරේ. 

එසේම, විදේශගත වීමට සිටින තරුණ තරුණියන්හට විදේශ භාෂා හැදෑරීම සඳහා මූල්‍යාධාර ලබා දීම, භාෂා පුහුණු පාසල්වල සම්පත්දායකයින් වෙත මාසික දීමනාවක් ලබා දීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන නිපුණතා වර්ධනය සඳහා ග්‍රාමීය තරුණ තරුණියන්හට මූල්‍යාධාර ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තයෙහි නියැළෙන නිපුණතා ශ්‍රමිකයින් බිහි කිරීම ආදිය මෙම වැඩපිළිවෙළෙහි අරමුණු වේ.

විදේශ අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝගල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්වරුද, ජනාධිපති අරමුදලේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here