විදුලිය අනතුරුදායකයි…ඉදිරි සතිය තීරණාත්මකයි?

0
10

සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතයි

  • බලශක්ති ඇමැති

මේ දිනවල විදුලි සේවකයෝ ලෙඩ වී තිබේ. ඒ පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නට යෙදුණු ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනතට එරෙහිවය. විදුලිබල මණ්ඩල සේවකයන් කියන්නේ කෑලි හයකට කඩා සමාගම් හයක පාලනයට යටත් කරන බවය. පසුගියදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ කිසිසේත් විදුලිබල මණ්ඩලය විකිණීමක් හෝ පෞද්ගලික අංශය අතට පත්කිරීමක් සිදු නොකරන බවත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් පමණක් බවයි. නමුත් විදුලි සේවකයන්ගේ අදහස වන්නේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ මළගම සිදුවන බවය.

ඒ අතරේම විදුලි ගාස්තුවද යළිත් වතාවක් වැඩිවන බවට රතු එළි දැල්වී තිබේ. ඒ වෙනුවෙන් මහජන අදහස් විමසීමද ආරම්භ කර තිබේ. ඒ ගැන කිසිදු කතාබහක් නැතත් විදුලි සේවකයන් සිය අයිතීන් වෙනුවෙන් නම් පාරට බැස තිබේ. ඒ අනුව පසුගිය 04 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර 17 සහ 18 දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබිණි. එසේම අමතර රාජකාරිවලින් ඉවත් වීමටද තීරණය කර ඇති අතර ඊට අමතරව එම දින දෙක තුළ කොටස් දෙකකට කොළඹට පැමිණ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණයේ නිරතවිණි.

පසුගියදා ජනාධිපතිවරයා කීවේ 26000ක් වන විදුලිබල මණ්ඩලයේ අර්බුදය ඇති තැන හඳුනාගන්නට නොහැකි වී ඇති බවය. එසේම තමන් එනවිට පනතක් සම්මත වී තිබුණු බවත් ඒ තුළ අහිතකර වගන්ති රාශියක්ම තිබූ බවත් ඒ සියල්ල ඉවත් කොට ඇති බවත් සඳහන් කරන ජනාධිපතිවරයා විදුලි සේවකයන්ට කීවේ පුළුවන්නම් ලෙඩ නිවාඩු වාර්තා කර මේ ප්‍රශ්නය විසඳා ගත හැකි ක්‍රමයක් පවතීනම් විසඳා ගන්නා ලෙසය. බලශක්ති ඇමැති කුමාර ජයකොඩි සඳහන් කළේ සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිත කොට ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම වෙලාවක කියලා නැහැ මෙහෙම කෑලි වලට කඩන්න කියලා

  • ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ

මග නැවතුණු ප්‍රතිව්‍යුහගතකරණය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කතාව අද ඊයේක ඇතිවූවක් නොවේ. එය එන්නේ මීට වසර දෙක තුනක සිටය. හරියටම කිව්වොත් 2023 වසරේ සිටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් ලෙස පැමිණි පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඒ සඳහා මුල පිරිණි. එවක බලශක්ති ඇමැතිවරයා වූ කාංචන විජේසේකර එක් අවස්ථාවක විදුලිබල මණ්ඩලය කෑලි අටකට කඩන්නටත් තවත් අවස්ථාවක කෑලි දොළහකට කඩන්නටත් සැලසුම් කෙරිණි. ඒ සඳහාම එක රැයින් වෙනම නීති අණපනත් සකස් කෙරිණි. නමුත් එල්ල වූ ජනතා විරෝධයත්, සේවක විරෝධයත් හේතුවෙන් එම කටයුත්ත සම්පූර්ණ කර ගැනීමට නම් හැකිවූයේ නැත.

එවකට වෘත්තිය සමිති නායකයෙකු වූ රන්ජන් ජයලාල් ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති මරාගෙන මැරෙන තරමේ සටනක් කළා අපට මතකය. මේ නිසාම රටේ ජනතාව සිතුවේ ආණ්ඩු පෙරළියත් සමග ප්‍රතිව්‍යුහගතකරණයත් අවසන් වේවි යනුවෙනි. ඊට ප්‍රධාන හේතුව වුණේම මැතිවරණ වේදිකාවලදී ජනතාවට දුන් පොරොන්දුය.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට හෝ වෙන කාගේ හෝ වුවමනාවට දැන් අලුත් මුහුණුවරකින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කර ඇත. මෙවර ලංකා විදුලිබල මණ්ඩලය රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් හයක පාලනයට යටත් කරන බව කියති. ඒ විදුලිය ජනනය කිරීම වෙනුවෙන් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, විදුලිය බෙදාහැරීම වෙනුවෙන් ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, සම්ප්‍රේෂණය වෙනුවෙන් නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, සියලුම සේවකයන්ගේ විශ්‍රාම අරමුදල් හා අර්ථසාධක අරමුදල කළමනාකරණයහ සඳහා CEB Employees Fund pvt ltd සහ අවශේෂ සමාගමක් ලෙස Energy Ventures Lanka pvt ltd යන සමාගම් හය නිර්මාණය කරමිනි.

රන්ජන් ජයලාල් නැතත් දැන් එම අඩුව පුරවන්නේ ලංකා විදුලි සේවක සංගමයේ උප ලේකම් ජයන්ත ගුණරත්නය. ඔහු කියන්නේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම දේශපාලන වුවමනාව මත ක්‍රියාත්මක කරන්නක් බවය. ඔහු වැඩ වර්ජනය ගැන කීවේ මෙවැන්නකි.

“අපි තමයි ආණ්ඩුව නියෝජනය කරන වෘත්තිය සමිතිය. ලංකා විදුලි සේවක සංගමය තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන ලොකුම වෘත්තිය සමිතිය. අනිත් වෘත්තිය සමිති ඔක්කොගෙම සාමාජිකත්වය ගත්තත් අපේ ලංකා විදුලි සේවක සංගමයේ සාමාජිකත්වය ඉක්මවා යන්නෙ නැහැ. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන කියන යෝජනාව 2002 වසරේ සිටම පැවතුණා. ඒ ආණ්ඩු කලේ ප්‍රතිව්‍යුහගතකරණය කරනවා වෙනුවට පෞද්ගලීකරණය කරන්න වුවමනා පිඹුරුපත් සැකසීමයි. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම ක්‍රියා මාර්ග ගත්තා. ඒ කාලේ විදුලි බල මණ්ඩලයේ තිබුණු අකාර්යක්ෂමතාව, දූෂණය, නාස්තිය අවම කිරීමට අභ්‍යන්තරිකව කර ගැනීමට තිබුණු ප්‍රතිව්‍යුහගතකරණය නිවැරදි ආකාරයෙන් කර නොගැනීමේ ප්‍රතිඵලය නිසා තමයි 2023-2024 වෙන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් විදිහට ඒක ආවෙ.

ඒ කෙටුම්පතේ සඳහන් වුණේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනවට වඩා පෞද්ගලීකරණය කරන්න. අපි ඊට දැඩි විරෝධයක් පළකළා. නමුත් එවකට තිබුණු ආණ්ඩුව අපේ විරෝධයද නොතකා හරිමින් 2024 ජුනි 27 වැනිදා විදුලිබල මණ්ඩලය කෑලි 12කට කඩන්න සැලසුම් කළා. එම 12න් ජාතික පද්ධති ක්‍රියාකරු කියන සමාගමයි ජාතික සේවක අර්ථසාධක අරමුදලයි විශ්‍රාම වැටුප් අරමුදල එකතු කරලා හදන සමාගමයි ජාතික සම්ප්‍රේෂණ සමාගමයි හැර සියයට පනහකට වැඩි කොටසක් රජය සතුව තියාගන්න ඕන කියලා කියන ගමන් ඒ කොටස කාටද යන්නේ කියලා කියන්නේ නැතුව බෙදා හැරීම සඳහා කලාප හතරට වෙනම සමාගම් හතරක් විදිහටත් ජනනය වෙනුවෙන් ජල විදුලි සමාගම රජය සතුව තියාගන්නා ගමන් අනිත් සියලුම දේවල් කාටද අයිතිය කියලා සඳහන් නොකර තමයි එම පනත සම්මත වුණේ.

තාප බලය, සුළං, වෙනුවෙන් හදන සමාගම් හතරේ අයිතිය කාටද කියන එක සඳහන් කරල තිබුණෙ නැහැ. කොටස් දොළහකට කඩලා එයින් කොටස් තුනක විතරයි රජයට සීයට සීයක අයිතිය තිබුණේ. අපි මේ පනත පරාද කරන්න විශාල වැඩ කොටසක් කළා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ හැට දෙදෙනකුගේ වැඩ තහනම් වීම.

2024 ජුනි 27 සම්මත කරපු පනත අනුව සේවකයන්ට මාස 4ක් ඇතුළත අර සමාගම් 12න් කුමන සමාගමටද යන්න ඕනේ කියලා ලිඛිතව දැනුම් දෙන්න තිබුණා. ඒ අතරේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත් වුණා. එවකට එහි බලශක්ති ඇමැතිවරයා වුණු ජනාධිපති අනුර කුමාර දිසානායක අපට පොරොන්දුවක් දුන්නා මෙම විදුලි බල පනත සංශෝධනය කරන බව. නීත්‍යානුකූලව මාස හතරක් ඇතුළත අපි ලියුම් දෙන්න බැඳිලා හිටිය නිසාත් අනුර කුමාර ජනාධිපතිවරයා මෙම පනත සංශෝධනය කරන බවට දුන්නු පොරොන්දුවත් හේතුවෙන් අපි ලිඛිතව දැනුම් දුන්නා. අපි යෝජනා 21ක් යටතේ මෙම පනත සංශෝධනයට ලක් කළා. ආයතන 12ට කඩන්න තිබුණු විදුලිබල මණ්ඩලය අපි ආයතන හයකට අඩු කළා. ඒ වගේම ජනනය බෙදාහැරීම සම්ප්‍රේෂණය කිරීම කියන එක විද්‍යාත්මකවත් ප්‍රායෝගිකවත් සමාගම හයකට වෙන් වෙන් කළා. ඒ වෙන් කරපු සමාගම් හයම 100%ක් රජය සතුයි. ඒ බව 2024 අංක 14 දරන සංශෝධන පනත මගින් තහවුරු කරලා තියෙනවා.

මේක තනිකරම සේවකයන් නොමග යවමින් මාධ්‍ය නොමඟ යවමින් කරන වැඩක්

  • ලංකා විදුලි සේවක සංගමයේ උප ලේකම් ජයන්ත ගුණරත්න

වන්දි පනත සංශෝධනයට

කලින් කාංචනලා, රනිල්ලා ගෙනාපු වන්දි පනත අපි සංශෝධනය කළා. එම වන්දි පණතෙ තිබුණේ සේවකයන් කොටස් තුනකට බෙදලා. ලක්ෂ හතක අවම මුදලකුත් ලක්ෂ 36ක උපරිම මුදලකුත් තිබුණෙ. ලක්‍ෂ පනහක උපරිම මුදලක් තිබුණෙ ඉංජිනේරු සංගමයට. අපි කරපු සංශෝධනය තුළ සියලුම සේවකයන්ට අවමය ලක්ෂ නවයකුත් උපරිම මුදල ලක්ෂ පනහකුත් විදිහට වෙනස් කළා. විශ්‍රාම වැටුපයි, සේවක අර්ථ සාධක අරමුදලයි දෙකම හිමි එකම සමාගම ලංකා විදුලිබල මණ්ඩලය. ඒක මේ සමාගම ඇතුළෙදිත් ඒ විදිහටම අපි තහවුරු කරලා තියෙනවා. සේවකයන්ට තවත් ඉටුවිය යුතු දේවල් වෙනුවෙන් අතිරේක ලේකම්වරයෙකු යටතේ කමිටුවක් පත් කරලා තියෙනවා. සේවකයන්ට වෙනත් වරප්‍රසාද තිබෙනවා නම් ඒ හරහා ලබා ගන්න පුළුවන්.

විදුලිබල මණ්ඩලය කෑලි 12කට කඩන්න ගිය පනතකට විරුද්ධ නොවුණු ඒ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට පනින්න බලාගෙන හිටපු ඒ කාලයේ සද්ද නැතුව හිටපු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය, ඉංජිනේරු සංගමය වැනි විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද 100%ක් පැහැදිලිව රජය සතු සමාගමක් කියලා තියෙද්දි මේ පනතට විරුද්ධව කටයුතු කරනවා. අපි කියන්නේ මේක විහිළුවක් කියලා.

එදා සොච්චම් වන්දි මුදලට විරුද්ධ නොවුණු අය අද කියනවා සේවකයන්ගේ සේවා කාලය ගණනය කරලා එන අසීමිත වන්දි මුදල ගෙවන්න කියලා. එහෙම ගෙවන්න ගියොත් කෝටි ගණන් ගෙවන්න වෙනවා ඒ වන්දි මුදල ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයන්ටම තමයි.

අපි මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. අපි මේකට එකඟත් නැහැ. මේක තේරුම් ගත්ත ලංකා විදුලි සේවක සංගමය ඇතුළු තවත් සංගම් දාහතක් මේකට සහයෝගය දක්වන්නේ නැහැ.

ඒ වගේම තමයි බිඳවැටුම් රාජකාරී පාරිභෝගික සේවා රාජකාරි කිසිවක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනවා. සියලුම රාජකාරී සාමාන්‍ය පරිදි සිදුවෙනවා. මේ අවස්ථාවේ උද්ඝෝෂණ වැඩ වර්ජනය කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන වෘත්තීය සමිති කිහිපයක් විතරයි. එහෙමත් නැත්නම් කාංචනලගේ සමාගම්වල නිලතල දරන්න හීන දැකපු අය. මේක තනිකරම සේවකයන් නොමග යවමින් මාධ්‍ය නොමඟ යවමින් කරන වැඩක්.

ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ කියන කතාවද ඇසිය යුත්තකි. හෙතෙම කියා සිටින්නේ විදුලිබල මණ්ඩලය රැකගැනීමට ඉදිරිපත් වූ පිරිසම අද වනවිට මේ තමන්ගේ වාසියට කටයුතු කරන බවය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා වගේ ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන්න 1969 පනත සහ 2009 සංශෝධිත පනත කිසිසේත්ම බාධාවක් වෙලා තිබුණෙ නැහැ. නමුත් ඒක කාංචන විජේසේකරලා වෙනස් කළා. ඒක අපි සියලු දෙනාම සටන් කරලා සාධනීය තැනකට ගෙනාවා. නමුත් මේ ආණ්ඩුව පත්වුණු ගමන් විදුලි බල මණ්ඩලය බරපතළ තැනකට අරගෙන ගියා. ඒ සඳහා විදුලි බල මණ්ඩලයේ සේවකයන් පාවිච්චි කළා. මේ ආණ්ඩුව බලයට පත්වීමත් එක්ක එවකට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වුණු දැන් එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔක්තෝබර් මාසේ 06 වැනිදා ලංකා විදුලි මණ්ඩල වෘත්තිය සමිති සේවකයන් සහ නිලධාරීන් අමතලා කියනවා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනි එහෙත් අපගේ ප්‍රතිපත්තිය එක මව් සමාගමක් යටතේ තියාගෙන මේ ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා. ඒකට කිසිම සේවකයෙක් විරුද්ධ වුණේ නෑ.

නැවත දෙසැම්බර් මාසයේ සාකච්ඡාවක් තියලා කියනවා තනි සමාගමක් විදිහට නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා සමාගම් පහකට කඩලා පාලනය කරන්න කියලා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම වෙලාවක කියලා නැහැ මෙහෙම කෑලි වලට කඩන්න කියලා. ඔවුන් කියල තියෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා විතරයි විතරයි. ඒ වගේම ඔවුන් කිසිම වෙලාවක කියල නෑ මේක ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න කියලා ඔවුන් කියන්නේ පිරිවැය කළමනාකරණය කරගන්න කියලා. රටට බරක් නොවන ආයතනයක් විදිහට ගෙනියන්න කියලා. පිරිවැය කළමනාකරණය කරගන්න දැන් තියෙන විදිහටත් පුළුවන්. කරන්න ඕන යම් යම් වගකීම අදාල අයටට පවරාදීම. මේ ආයතනය විදුලි බිල මතම යැපිය යුතු නැහැ. දේශීය, විදේශීය සෘජු ආයෝජන වක්‍ර ආයෝජන තුළින් දියුණු කළ හැකියි.

විදුලි බිල වැඩිවීමට හේතුව අඩු වියදම් බලාගාර ඉදිකිරීමට ඉඩ නොදීම. වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ ඉන්න වෙලාවේ නොරොච්චෝලෙ බලාගාරයේ හතරවන අදියර ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 500ක් ගහන්න දුන්නේ නැහැ. උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රමාද කළා. මේ ආයතනය කඩා වැටීමට හිටපු දේශපාලකයෝ වගේම වර්තමාන ආණ්ඩුවත් වගකිව යුතුයි. එය වගකීමෙන් නිදහස් වෙන්න සේවකයෝ පිට බර පටවා හරියන්නේ නැහැ.

මේක සියයට සියයක් රජයේ කියලා කිව්වට ආණ්ඩුවෙන් පත් කරල තියෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රසිද්ධියේම කියනවා පනතෙක් කොහෙවත් නෑ මේක රජය යටතේ පවත්වාගෙන යා යුතුයි කියලා. ඕනෑම වෙලාවක කොටස් වෙළෙඳපළේ විකිණිය හැකියි කියලා. ඒ වගේම පසුකාලීනව ජනන හා බෙදා හැරීම් කියන සමාගම් දෙකම තව තව කොටස් වලට කඩනවා.

සෑම සේවකයෙකුටම උසස් වීම් හිමි වියයුතුයි. නමුත් දැන් අවුරුදු තුනක් තිස්සේ එහෙම උසස් වීම් ප්‍රමාද කරලයි තියෙන්නේ. කොළඹ නගරය සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ යටිබිම්ගත රැහැන් පද්ධතියකින්. මේවා නඩත්තු කරන්න සුදුසුකම් ලත් පිරිස ඉතාම සීමිතයි. මේ ඇතිවී තිබෙන තත්ත්වයත් සමඟ එම පිරිස කලකිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය හැරදා යන්න සූදානම් වෙනවා. එය ඉතා බරපතළ තත්වයක්.

විදුලි බල මණ්ඩලය තුළ වංචාව දූෂණය නාස්තිය තියෙනවා නම් අකාර්යක්ෂමතාව නැති කරන්න මේ තියෙන නීති අණ පනත් තුළින්ම පුළුවන්. ඒකට වෙනම සමාගම් හදන්න ඕන නැහැ.

ලංකා විදුලිබල මණ්ඩලය තුළ පිළිගත් වෘත්තීය සමිති හැට ගාණක් තිබුණා. එය අඩුවී දැන් තියෙන්නේ 29යි. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තියේ සමිතියට මේ සාමාජිකයෝ හත්දහසක් ඇති. අලුතෙන් ස්ථිර කරපු මෑන් පවර් සේවකයොත් එක්කම දොළොස් දහසක් දහතුන් දහසක් ඉන්න ඇති. දැන් ඒ පිරිසෙන් බාගයක් අප වටා එක්කාසු වෙලා ඉවරයි. ඔවුන්ට 14000ක් ඉන්නවනම් 16000ක් ලෙඩ නිවාඩු දාන්න ඕන නැහැ. ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ නැහැ. දැන් ඔවුන් සමඟ 8000 ක්වත් නැහැ. මේ පිරිසක් ඔවුන් බලෙන් බඳවා ගත් සාමාජිකයන්. අපිත් සමග මේ සටනට වෘත්තීය සමිති විසි අටක් එකතු වෙලා ඉන්නවා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය ලක් විය යුතුයි. නමුත් මේක විකුණන්න දෙන්නේ නැහැ කියලා සපථ කරපු පිරිස තමයි අද මේ තමන්ගේ වාසියට මේ විදිහට කටයුතු කරන්නේ. ප්‍රතිව්‍යුහගතකරණය සිදු විය යුත්තේ රටට මහජනතාවට සහ සේවකයන්ට ගැලපෙන විදිහට. නමුත් ඊට ප්‍රතිවිරුද්ධ විදිහට ක්‍රියා කරන්න ගියහම තමයි මෙහෙම ගැටලු ඇතිවෙන්නේ.”

විදුලි වෘත්තිය සමිති කුමක් කීවද, විපක්‍ෂයේ සිටියදී නගන හඬ ආණ්ඩු පාලනයට ආ පසු නැත. විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේත් ඒ සන්තෑසියමය. මේ කිසිවෙක් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ද නැත. මේ ප්‍රශ්නයෙන් අන්තිමට විදුලි සර වදින්නේ පාරිභෝගිකයාට බව නම් සැබෑය. අපට කිව හැක්කේ මේ කොයි කවුරුත් අනුගමනය කරන්නේ කබරගොයා තලගොයා බවට පත් කරන න්‍යාය ය.

සමීර කන්නන්ගර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here