කොළඹ LNW:“විද්‍යාව පදනම් කරගෙන කටයුතු කිරීම යනු අපගේ ආයතන සහ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම බවත්, විශේෂයෙන්ම ජනතාවට සපයන සෞඛ්‍ය තොරතුරු කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අප කැපවිය යුතු බවත්” සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දිගුකාලීන ආයෝජනයක් සිදුකිරීම මෙන්ම පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා දීර්ඝකාලීන සහායක් අවශ්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා, විද්‍යාව පෙරදැරි කරගෙන ලබන ජයග්‍රහණ විශේෂයෙන්ම අව වරප්‍රසාදිත ජනතාව වෙත සමීප කරවීම රජයේ අභිලාෂය බව ද සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ දත්ත මත පදනම්ව සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා කටයුතු කර ඇත. මාතෘ හා ළදරු සෞඛ්‍යයේ, රෝග නිවාරණයේ සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ඇතිකිරීමේ ශ්‍රී ලංකාව ලබාඇති ජයග්‍රහණයවල පදනම අපගේ මහජන සෞඛ්‍ය සේවාව විද්‍යාව, සාධාරණ ප්‍රවේගය හා මහජන විස්වාසය මත ගොඩනැගීමයි. අනාගතයේ අප මුහුණ දීමට නියමිත සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීමට නම් ලබා ගත් විද්‍යාවේ ජයග්‍රහණයන් නිවැරදි වේලාවට කාර්‍යකශමව ක්‍රියාමාර්ග බවට පත්කළ යුතුයි.”
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) නව දිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ (WHO SEARO) දී පැවති “2026 ලෝක සෞඛ්‍ය දිනය” නිල සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ වත්මන් සභාපතිවරයා (Chair of the WHO Regional Committee for South-East Asia) වශයෙනි.
ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව සංවිධානය කරන ලද මෙම උළෙල මෙවර පවත්වන ලද්දේ “Together for Health: Stand with Science” යන තේමාව යටතේය.
විශේෂත්වය වන්නේ, 2025 දෙසැම්බර් මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයීසස් මහතා අතින් විවෘත වූ නව දිල්ලියේ WHO SEARO නව මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේදී පවත්වනු ලැබූ ප්‍රථම ලෝක සෞඛ්‍ය දින සැමරුම් උළෙල මෙය වීමයි. මෙහිදී අමාත්‍යවරයා අතින් දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ‘Banyan Framework for Health and Well-Being 2026–2028’වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයාගේ 2025 වාර්තාව නිල වශයෙන් එළිදැක්වීම ද සිදුකෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලය (WHO SEARO), ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම කලාපීය ආයතනයයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ කොළඹදී පැවති WHO කලාපීය සමුළුවේදී එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවිය.
මෙම අවස්ථාවට ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් පුන්‍යා සලිලා ශ්‍රීවාස්තවා මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බෝම් මහත්මිය ඇතුළු කලාපීය සෞඛ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

The post විද්‍යාව තුළින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගනී! appeared first on LNW Sinhala.
Saru News
















