විජේරාමෙන් සමුගෙන මහින්ද තංගල්ලට යයි

0
8

‘ජනතාවට ජයවේවා’ නික්ම යමින් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11දා) පස්වරු 1.25ට පමණ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස බලා පිටත්ව ගියේය. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත පසුගිය 10 වනදා පාර්ලිමේන්තුව විසින් අහෝසි කිරීමත් සමග එම තීරණය ගෙන ඇත. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් “මොකක්ද මේ ගැන කියන්න තිබෙන්නේ” යනුවෙන් විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ”මොනවා කියන්න ද අපි යනවා” යනුවෙනි. එහිදී මාධ්‍යවේදීන් තවදුරටත් මහින්ද මහතාගෙන් මෙසේද විමසා සිටියේය.

මාධ්‍යය – ඉදිරි දේශපාලන කටයුතු කොහොමද?

මහින්ද රාජපක්‍ෂ මහතා – ඒවා කරනවා. දේශපාලනය අත්හරින්නේ නෑ.

මාධ්‍යය – තව මොනවද කියන්න තිබෙන්නේ?

මහින්ද රාජපක්‍ෂ මහතා –ජනතාවට ජයවේවා

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ද අදහස් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය “මම වැඩ කරනවා. කතා කරන්නේ නැහැ. මම දේශපාලනය කරන්නේ නැහැනේ, යනුවෙන් පැවැසුවාය.

මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිල නිවසින් පිටත්වීමට පෙර ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියෝද,චීන තානාපතිවරයා ද, සමගි ජන බලවේගයේ දිලිප් වෙදආරච්චි මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් ද පැමිණි සිටියහ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ද, සංජීව එදිරිමාන්න, ශාන්ත බණ්ඩාර, සම්පත් අතුකෝරළ, මෛත්‍රී පතිරණ, පියල් නිශාන්ත මෙන්ම එම පක්‍ෂයේ මහ ලේකම්වරයා වන නීතිඥ සාගර කාරියවසම් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ පැවැසීය.

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අලුත් නීතියට ගරුකරමින් නිල නිවසින් යනවා. 87-89 කාලයේ දී නොමග ගිය තරුණ ජීවිත බේරාගත්තේ ඒ මහතා විසින්. තිස් අවුරුදු යුද්ධයේදී වසරකට රුපියල් බිලියන 2000ක පමණ මුදලක් වැයවීම නතර කළ නායකයා. ගම්වලට මිනීපෙට්ටි එන එක නතර කරල රටට සංවර්ධනය ගෙනා නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා තමයි. ඒ සියල්ලටමත් වඩා මේ රටේ නීතියට ගරු කළ මහින්ද රාජපක්‍ෂ මහතා නව නීතියටත් ගරුකරමින් නිල නිවසින් පිටත්ව යෑමට තීරණය කළා.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

එරික් ගාමිණි ජිනප්‍රිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here