විජිත හේරත්ගේ කතාව සහ මිලිටරි කණ්ණාඩිය ගැලවීම

0
11

දූෂණය තුරන් කිරීමෙන් මානව හිමිකම් සුරක්ෂිත වෙයි. භීෂණය තුරන් කිරීමෙන් ද මානව හිමිකම් සුරක්ෂිත වෙයි. ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමෙන් ද මානව හිමිකම් සුරක්ෂිත වෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 60 වැනි සැසිවාරය මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙයි. මේ කොමිසමට පුරුදු පරිදි අපේ රට ද සහභාගි වී තිබෙයි. මානව හිමිකම් කොමිසම හැමදාම කතා කරන්නේ ඔවුන් සතු මස් කඩයේ මස් කොක්කෙහි අප එල්ලීම පිණිස ය. එහෙත් විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරන ලද කතාවෙන් පසු, වෙනදා පරිදි අප ජිනීවා මස් කඩයේ කොක්කෙහි එල්ලීම පහසු නොවන බව මස් මුදලාලිලා විසින් තේරුම් ගෙන ඇති බව අපගේ අදහස වේ. ඔවුන් එසේ තේරුම් ගෙන නැත්නම් එසේ තේරුම් ගන්නැයි අපි ඔවුන්ට බල කරමු.

අනුර දිසානායකගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ රටේ උතුර සහ රජය අතර අලුත් සම්බන්ධතාවක් හටගත්තේය. යුද්ධයෙන් පසු දිගින් දිගටම හැම ආණ්ඩුවක් සමගම උතුර හා නැඟෙනහිර පළාත් සම්බන්ධ වූ අතර, එය අර්ධ මිලිටරි සම්බන්ධතාවකි. එනම් එම පළාත්වල ජීවත් වූ ත්‍රස්තවාදීන්ගේ පෙර වැරදි නිසා මෙතෙක් පත් වූ හැම ආණ්ඩුවකටම උතුරු නැඟෙනහිර දෙස බැලීමට සිදුවූයේ මිලිටරි කණ්ණාඩියකිනි. මේ කණ්ණාඩියෙන් බලනවිට නිතරම පෙනෙන්නේ තුවක්කු, අත්බෝම්බ, මළ මිනී සහ ලේ පැල්ලම් ය. මේ මිලිටරි කණ්ණාඩිය අතීතයේදී අප පරිහරණය කළ උපකරණයක් නොවේ. 1983 කළු ජූලියට සමගාමීව ප්‍රභාකරන් විසින් ආරම්භ කරන ලද බෙදුම්වාදී යුද්ධයේදී දකුණේ විසූ හැම කෙනකුටම එවැනි මිලිටරි කණ්ණාඩියක් ළඟ තබා ගැනීමට සිදුවිය. එයට හේතුව හැමවිටම අපට ඉදිරිපසින්, පසුපසින්, වම්පසින් හෝ දකුණුපසින් සතුරා සිටීම ය. මේ සතුරා විටෙක වෙඩි තැබුවේය. නැත්නම් බෝම්බයක් ගැසුවේය. එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැලඳගෙන විත් මේ රටේ රාජ්‍ය නායකයකු හෝ දේශපාලනඥයකු හෝ හමුදා ප්‍රධානියකු හෝ බදාගෙන පුපුරුවා ගත්තේය. ඔවුහු මේ රටේ පහළ වූ විශිෂ්ටතම බුද්ධිමතකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළහ. ඒ ඔහු ජීවත් වූ නිවසේ අල්ලපු වත්තේ පිහිටි තට්ටු දෙකේ ගෙයක් කුලියට ගෙන එම නිවසේ ජනේලයකින් ඔහුට වෙඩි තැබීමෙනි. මෙය සිදුවන්නේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේදී ය. එවකට ලක්ෂ්මන් කදිරගාමර් මේ රටේ විදේශ ඇමැති ලෙස කටයුතු කළේය. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ලංකාවේ ජාතික සංහිඳියාවට එල්ල කළ දරුණු පහරකි. කදිරගාමර් මහතා බෞද්ධයෙකි. ඔහුගේ නිල නිවසේ කාර්යාල කාමරයෙහි ලොකු බුදු පිළිමයක් තිබිණ. එසේම කදිරගාමර් හොඳ සිංහලයෙකි. එයට අමතරව හොඳ දෙමළ මිනිසෙකි. මේ සියලුම කරුණුවලට අමතරව ඔහු ඉතා හොඳ මනුෂ්‍යයකු විය. ඒ නිසා කදිරගාමර් ඝාතනය කිරීම මිනිස්කමේ කොටසක් ඝාතනය කිරීම හා සමාන විය. ත්‍රස්තවාදීහු නීලම් තිරුචෙල්වම් ඝාතනය කළහ. රටකට ඉතා කලාතුරකින් පහළ විය හැකි විද්වතකු වූ නීලම් තිරුචෙල්වම්, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විද්වත් මිත්‍ර කවයේ සිටි සාමාජිකයෙකි. ජනාධිපති මැරීමට නොහැකි තැන ජනාධිපතිගේ හිතවතුන් සහ නිලධාරීන් ඝාතනය කිරීම ත්‍රස්තවාදියාගේ අරමුණ වේ. එයින් ඔවුන් හඟවන්නට උත්සාහ කරන්නේ තමන් ජනාධිපතිට ඉතා කිට්ටු වී සිටින බව ය. ඊළඟ වෙඩිල්ල ජනාධිපතිට තබන බව ය. මෙවැනි දුෂ්කර සහ භයානක සමයක මිලිටරි කණ්ණාඩිවලින් උතුර හා නැඟෙනහිර පළාත් දෙස බැලීමට අපේ ජනයා පුරුදු වීම ඉතා සාධාරණ විය. එහෙත් දැන් යුද්ධයක් නැත. ලංකාවට සම්පූර්ණ සාමය එළැඹී අවුරුදු 15ක පමණ කාලයක් මේ වනවිට ගතවී තිබේ. විජිත හේරත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කළ කතාවෙන් පැහැදිලි වන මුඛ්‍ය කාරණය වන අලුත් ආණ්ඩුව මේ මිලිටරි කණ්ණාඩිය ගලවා පසෙක තබා ස්වභාවික ඇසින් ජාතික ප්‍රශ්නය දෙස බැලීමට පුරුදු වී තිබෙන බව ය. හැබැයි ආණ්ඩුව මිලිටරි කණ්ණාඩිය ගැලෙව්වාට එය වීසි කර දමන්නේ නැති බව අප මතක තබාගත යුතුය. හදිසියක් වුණොත් ආණ්ඩුව මේ කණ්ණාඩිය යළි දමාගෙන වැඩ පටන් ගන්නවා ඇත.

දූෂණය නැති කිරීමට මේ ආණ්ඩුව ඉක්මන් සහ සාර්ථක වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පෙනේ. ඒ බව ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලොක්කා ද පවසා තිබිණ. මීට සති කිහිපයකට පෙර එම කොමිසමේ ලොක්කෙක් ලංකාවට පැමිණියේය. වංචනිකයන් සහ දූෂිතයන් ඇල්ලීමට මේ ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය දුටු හෙතෙම, බොහෝ කාලයකට පසු මේ රට හැදීම සඳහා ආණ්ඩුවකට අවස්ථාවක් ලැබී ඇති බව පැවසුවේය. 1948 සිට මේ රටේ ජනතාව විටින්විට විවිධ ආණ්ඩු පත් කරගෙන ඇත. අද ශ්‍රී ලංකා – හෙට යූඑන්පී වශයෙන් අවුරුදු 5න් 5ට ආණ්ඩු ද ශ්‍රී ලංකා – කොමියුනිස්ට් – සමසමාජ සභාග ආණ්ඩු ද යූඑන්පී – ශ්‍රී ලංකා සභාග ආණ්ඩු ද මේ රටේ ජනයා විටින්විට පත්කර ගත්හ. එහෙත් මේ ආණ්ඩු මතවාදී වශයෙන් වැඩි කලක් එකට සිටියේම නැත. ඩඩ්ලි සේනානායක එක්තරා කාලයක පත්කරගත් ආණ්ඩුවට මේ රටේ දේශපාලන පක්ෂ 7ක් එකතු විය. එහෙත් හවුල් අච්චාරුව ඇඹුල් රසින් වැඩි බවත් දරාගත නොහැකි තරම් ගම්මිරිස් එම අච්චාරුවට යොදා ඇති බවත් මේ රටේ ජනතාව තේරුම් ගත්හ. ඒ අච්චාරු ආණ්ඩුවලට යොදා තිබුණේ සැබෑ පොල් විනාකිරි නොව සිටි්‍රක් ඇසිඩ්වලින් සැදූ කෘත්‍රිම විනාකිරි ය. ස්වාභාවික සිටි්‍රක් ඇසිඩ් බඩවැල්වලට හොඳ නමුත් කෘත්‍රිම සිටි්‍රක් ඇසිඩ් උදරයට හොඳ නැත. එමගින් බඩවැලේ විවිධ ආබාධ ඇති කරයි. මේ සියලු කරුණු සලකා ගිය අවුරුද්දේදී අනුර දිසානායක ජනාධිපති කිරීමටත් ජේවීපී එන්පීපී ආණ්ඩුවක් ඇති කිරීමටත් මේ රටේ ජනයා සිය ඡන්දය පාවිච්චි කළෝය. එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනයාගේ අවසන් ප්‍රාර්ථනය වේ. කිසියම් දවසක මේ ප්‍රාර්ථනය බිඳුණහොත් සියදිවි නසා ගැනීමෙන් මෙහා විකල්පයක් ඔවුන්ට නැත. විටින්විට තැනින් තැන පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණත්, සමස්තයක් වශයෙන් ගත් කල මේ රටේ මානව හිමිකම් ද මේ වනවිට කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වී තිබෙයි. මෙහි ආරම්භය පටන් ගන්නේ යහපාලන ආණ්ඩු සමයේදී ය.

ජිනීවා මානව හිමිකම් කොමිසම අපේක්ෂා කරන දේවල් බොහොමයක් දැනටමත් ආණ්ඩුව සිදුකරමින් පවතී. උතුරු නැඟෙනහිර ජනයාගෙන් ලබාගත් ඉඩම්වල ඇති කළ හමුදා කඳවුරු ඉවත් කිරීමත් ඉඩම් අයිතිකාරයන්ට එම ඉඩම් ආපසු ලබාදීමත් දැනට සිදුවෙමින් පවතී. මෙහිදී යාපනයේ විටින්විට ඇතිවන ප්‍රචණ්ඩ නොසන්සුන්තාවලට එල්ටීටීඊ අර්ථනිරූපණය සැපයීමෙන් වැළකීම පුරවැසියන්ගේ වගකීම වේ. හැම පිපිරීමකටම කොටි සංවිධානය සම්බන්ධ නැත. වැඩිහිටියන්ට අමතරව පොඩි ළමයි ද රතිඤ්ඤා පත්තු කරති. ඒ නිසා මනසින් බාල වයසින් වැඩි වැඩිහිටියෝ පුද්ගලික ආරවුල්වලදී කඩු පොලු ගෙන උතුරු නැඟෙනහිර නගරවල සැරිසරා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඒවා එල්ටීටීඊ හි වැඩ නොවන බව අප මතක තබා ගත යුතුය. ජනතාවගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කරගෙන ජනතාවගේ ස්වාධීනත්වය ද රැකගෙන අප ඉදිරියට යෑමට සූදානම් බව ඔප්පු කළ විට මානව හිමිකම් කොමිසමෙන් ගැලවීමට අපට පුළුවන. විජිත හේරත් සිය කතාවෙන් කළේ ඒ බව යම්තාක් දුරට ඔප්පු කිරීම ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here