වැසි – සුළං වැඩි වෙයි

0
1

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි
ප්‍රදේශ රැසකට මි.මී. 150 ට අධික තද වැසි
පැ. කි. මී. 50 ට වැඩි තද සුළං
වාරි ජලාශ 73න් 25ක් වාන් දමයි
ආපදා සහන සැලසීමට රජය මිලියන 1500 ක් වෙන් කරයි
නැවත දැනුම් දෙනතුරු මුහුදු ගමන්වලින් වළකින්න
කාලගුණේ ඉල්ලයි

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් අද (27දා) පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම නිසා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකි නිසා නැවත දැනුම් දෙනතුරු ගැඹුරු සහ නොගැඹුරු. මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ඊයේ (26දා) ඉල්ලීමක් කළේය. අධික වර්ෂාපතනය ලබන ඉරිදා (30දා) තෙක් පැවැතිය හැකි යැයි ද ඔහු කීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල ඉතා තද වැසි ඇතිවන බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40-50 පමණ වන අතර එය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවැසීය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.5 දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර නැඟෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ නැඟෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකිය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්. එස්. සූරියබණ්ඩාර මහතා) :

පෙරේදා (25දා) අම්පාර ප්‍රදේශයට මිලිමීටර් 225ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 25ක් වාන් දමනවා. මධ්‍ය පරිමාණයේ ජලාශ 26ක්ද වාන් දමනවා. සමස්තයක් ලෙස බැලුවහොත් ජලාශවල සියයට 60ක පමණ ජල ධාරිතාවක් පවතිනවා. ඒ වගේම ජලාශ රැසක වාන් දොරටු විවෘත කර පවතින නිසා ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි. ඒ වගේම සෝමාවතිය පූජාභූමිය සහ මනම්පිටිය මාර්ගය ද ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතිනවා.

බදුල්ල අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හි ඇතැම් ප්‍රදේශවලට පෙරේදා රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මාදුරුඔය ද්‍රෝණියේ කෝරලෙයිපත්තු, කෝරලෙයිපත්තු බටහිර, කෝරලෙයිපත්තු උතුර, එරාවුර්පත්තු, මහඔය, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, දිඹුලාගල, වැලිකන්ද හා මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාදුරුඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙතැන් සිට ඉදිරි පැය 24ක් දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.

යාන්ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති නිසා යාන්ඔය පහළ ප්‍රදේශවලට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාන්ඔය පහළ ප්‍රදේශවල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කුච්චවේලි, පදවි ශ්‍රී පුර, පදවිය, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල යාන්ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියැදුරන් හා මගීන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට පෙරේදා රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මුන්දෙනි ආරු ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙතැන් සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

ගල්ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව මේ වනවිට ජලාශයේ රඳවාගත හැකි උපරිම ජල ධාරිතාව දක්වා ළඟා වෙමින් පවතී. එමෙන්ම එම ප්‍රදේශයට පසුගිය පැය 24 තුළ ලැබුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගල්ඔය ගඟෙහි සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශය ගංවතුර තත්ත්වයකට ළඟා වී ඇති අතර, ඉදිරියේදී සේනානායක සමුද්‍රයේ පිටවාන් දොරටු ද විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් ගල්ඔය ගඟෙහි ජල මට්ටම ඉහළ යනු ඇත. එබැවින් ගංවතුර නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගල්ඔය නිම්නයෙහි පහළ ප්‍රදේශවල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවූර්, කරතිව්, සයින්දමරුදු, කල්මුණේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියැදුරන් සහ මගීන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිස්ස මහතා :

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවල පවුල් කිහිපයකට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, කළුතර, මාතර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට අවදානම් නිවේදනයත් බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් නිවේදනත් නිකුත් කර තිබෙනවා.

ආරක්‍ෂක අමතා්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මහතා :

ආපදා සඳහා සහන සැලසදීමට රජය රුපියල් මිලියන 1500ක් වෙන්කර තිබෙනවා. ආපදාවෙන් මියයෑමක දී රුපියල් ලක්‍ෂ 10ක්, ආපදාවට ලක්ව තුවාල ලබන පිරිසටත් මුදලක් ලබාදෙනවා. ඒ වගේම ආපදාවලට ලක්ව අවතැන්වන ජනතාවට එක් වේලකට රුපියල් 200 බැගින් වේල් තුනකට තේ පානය සඳහාත් මුදල් වෙන්කර තිබෙනවා.

මේ වසරේ දිසාපතිවරුන් සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 500න් 55 ක් වැය කර තවත් මිලියන 45ක් ඔවුන් සතුව පවතිනවා. නිවාස පූර්ණ හානි සඳහා ලක්‍ෂ 25ක් ගෙවනවා. මේ වනවිට පූර්ණ නිවාස හානි 04ක්, අර්ධ හානි 579 ක් වාර්තා වී තිබෙනවා. පවුල් 1193 ක පුද්ගලයන් 3972ක් පීඩාවට පත්වී මරණ 09ක් වාර්තා වී තිබෙනවා. ඉන් මරණ 07ක් කෑගල්ලෙත්, කුරුණෑගල සහ හම්බන්තොට මරණ එක බැගිනුත් වාර්තා වී තිබෙනවා. නිවාස හානි සඳහා වෙන්කර තිබෙන මිලියන 1000කින් තවත් මිලියන 462ක් අමාත්‍යාංශය සතුවත්, දිසාපතිවරුන් සතුව ඒ සඳහා වෙන්කළ රුපියල් මිලියන 194කුත් තිබෙනවා.

ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් එච්. පී. කල්‍යාණි මහත්මිය කියා සිටියේ අවදානම් මුහුදු ප්‍රදේශවල සිටින බහුදින යාත්‍රා 240කට ආරක්‍ෂිත ප්‍රදේශයකට ගමන්කරන ලෙස දැනුම් දී ඇති බවයි.
චමින්ද සිල්වා,ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here