වැසි සමය පැමිණේ වසන්තය නිමවේ…හීතල හෝර්ටන්තැන්නේ, ගෙවී ගිය දින කිහිපයක්….

0
4

නෙලූ මලින් විකසිතව, මීදුම් සේලයේ දැවටුණු හෝර්ටන්තැන්නේ අසිරිය සොයා ගිය පළමු දිනය සහ පසුදාට පහන්වූ දිනය වැහි අඳුරෙන් සහ මීදුමෙන් බර කාලගුණයකින් සමන්විත වූ නිසා, අපගේ චාරිකාව එතරම් ප්‍රබෝධමත් එකක් වූයේ නැත. එනමුත්, දෙවැනි දවස උදා වූයේ අප ගැනම සිතා යැයි සිතුණේ එදින උදාවූයේ අරුණාලෝකය ද කැන්දාගෙන වීම නිසා ය. එදින අහසේ එකදු වළාකුලක් හෝ දක්නට නොතිබුණු අතර, හෝරාවකට වඩා අහස පැහැදිලිවී හිරු උදාවේ පණිවිඩය කලින්ම රැගෙන ආවේය. අනතුරුව පැහැදිලි නිල්වන් අඹරේ කෙළවර, ඔහිය පැත්තෙන් හිරු නැඟ ආවේ පරිසරයම රන්වන් පාටින් ඒකාලෝක කරමිනි. සේද සළුවක් මෙන් තැන්නේ විසිරුණු මීදුම් තිරය මතට ඒ රන්වන් ආලෝකය වැටීමෙන් අපූරු චිත්‍රයක් මවාපෑවේය. පිණි බින්දු වැටුණු තණ පළස රිදී පැහැයෙන් බබළන්නට විය. ඒ අව් අස්සේ හීතල කබාවලින් මිදුණු අපි තැන්නේ මවන අපූරු සුන්දරත්වය අපේ තෙවැනි ඇසට ග්‍රහණය කරගන්නට වෙහෙස ගත්තෙමු.

එදින දිනය උදාවූයේ 12 ක් පමණ වූ අපගේ කණ්ඩායම දෙකට බෙදී කරන සංචාර දෙකක් ලෙස සැලසුම් කරමිනි. ආචාර්ය නිලන්ති රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් වනජීවී පර්යේෂණ සහ සංරක්ෂණ කණ්ඩායමේ 8 දෙනකු එදින සැලසුම් කර තිබුණේ අරුණාලෝකයත් සමග කිරිගල්පොත්ත වන මං පෙත ඔස්සේ කිරිගල්පොත්ත නැග එම ප්‍රදේශයේ ‘නෙලූ’ මල් ව්‍යාප්තිය සහ විවිධත්වය මැණීම සහ ඒවා රූගත කිරීම සඳහා ය. ‘හරිත-සංචාරේ’ අපි සහ ‘දිවයින online’ ඉතිරි කණ්ඩායම උදේ වරුවේ හෝර්ටන්තැන්න උද්‍යානයේ තොරතුරු මධ්‍යස්ථානය අවට සහ තැන්නේ අසිරිය රූගත කිරීමටත්, උද්‍යාන පාලක සිසිර රත්නායක මහතා මුණගැසී උද්‍යානයේ වත්මන් තත්ත්වය සහ පවතින ගැටලු ගැන සාකච්ඡා කිරීමටත් තීරණය විය. එසේම, අපගේ ‘සංචාරේ’ කණ්ඩායම දින තුනක සංචාරය නිමවා එදිනම රාත්‍රියේ බදුල්ල සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියෙන් ආපසු කොළඹ එන්නට සැලසුම් කර තිබුණු අතර, වනජීවී කණ්ඩායම තවත් දින දෙකක් තැන්නේ නැවතී අදාළ පර්යේෂණ තවදුරටත් කරගෙන යෑමට නියමිත විය.

මේ අනුව අළුයම සිට බංගලා භාරකරු විසින් උයා පිහා සකසා දුන් ආහාර අනුභව කර, දහවලටද සකසා ගත් ‘කිරිගල්පොත්ත’ කණ්ඩායම මීටර් 2388 ක් මුදුණේ පිහිටි කිරිගල්පොත්ත මුදුණ බලා ඇදුණේ එම මං පෙතේ බහුලව ඇති ‘නෙලූ’ පර්යේෂණයට මුල් තැන දෙමිනි. ඒ සඳහා ඔවුන්ට යෑමට සහ ඒමට කිලෝමීටර් 14 ක පමණ දුරක් ගෙවා දමන්නට සිදුවනු ඇත. එම උදෑසන අපට එතරම් කාර්යබහුල උදෑසනක් වූයේ නැත. මන්ද, අපට ගමන් කිරීමට ඇති දුර කිලෝමීටර් 3-4 කට වඩා දුර නොවූ හෙයිනි. එසේම, ඒ වන විටත් හොඳින් හිරු එළිය පතිත වෙමින් පැවති බැවින් අපට තවත් රාජකාරි කිහිපයක් කරගන්නට තිබිණි. එකක් නම්, අපගේ තෙත තුවා, සපත්තු, මේස් යනාදිය වේලා ගැනීමය. අනික අව්ව තැපීම ය.

පැය දෙකක් පමණ ඒ කටයුතු කරගත් අපි නිවාඩු දිනයේ හෝර්ටන්තැන්නට පැමිණෙන වාහන හැසිරවීමටද පොඩි කාලයක් ගතකර, අනතුරුව ගියේ අපගේ රූගත කිරීම් සඳහා ය. ඒ අනුව පළමුව අපි ඔහිය දෙසට ඇති පාරේ ගොස්, මහවැලි ගංගාවේ ආරම්භක දිය දහරාවක් වන ‘බෙලිහුල්ඔයේ’ දිය පාර අසල ඡායාරූප ගත කළෙමු. එම ස්ථානයේ වැඩී ඇති ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ‘කුරු උණ’ ශාකය, ‘මහරත්මල්’, ‘බිනර’, ‘මහ බෝවිටියා’ වැනි වන මල්, අලංකාර පාසි, ලයිකන, මීවණ යනාදිය පින්තුරයට නඟාගත් අපි, ගෝනුන්ගෙන් ගහන හෝර්ටන්තැන්නේ නොහොත්, අතීත සිංහලයා හැඳින්වූ පරිදි, ‘මහ එළියේ’ ලෝකාන්තයට සහ බේකර්ස් ඇල්ල මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදුණේ ජන ගඟක් සමගය. ‘නෙලූ’ වසන්තය නිසා මේ දිනවල වැඩි සංචාරක පිරිසක් මෙහි ගැවසෙන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ‘ලෝකාන්තය’ සහ ‘බේකර්ස් ඇල්ල’ මංපෙත දිගේ කිලෝමීටර් 9 ක පමණ පාගමනක් ද නිමා කිරීමට එක්වෙති.

යළිත් අපට මුණගැසෙන ‘බෙලිහුල්ඔයේ’ පාලම පසුකර ලෝකාන්තය මාර්ගයේ ‘වයි හන්දියට’ ළඟාවූ අපි ඊළඟට තෝරාගත්තේ එතැනින් දකුණු පසට වැටෙන බේකර්ස් ඇල්ල මාර්ගයයි. එම මාර්ගයේදී කිලෝමීටරයක තරම් දුරකදී බෙලිහුල්ඔය නිර්මාණය කරන ‘චිමිනි පොකුණ’ සහ ඉතා කුඩා ‘චිමිණි ඇල්ල’ හමුවන අතර තවත් එම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට සුප්‍රකට ‘බේකර්ස් ඇල්ල’ හමුවේ. එම දිය ඇල්ල එසේ නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට සිටි සුදු ජාතික දඩයක්කාරයකු වූ ‘සැමුවෙල් බේකර්’ ගේ නමිනි. ඔහු එකල මහ එළිය තැන්නේ ගෝනුන් මෙන්ම, රටේ වෙනත් ප්‍රදේශවල අලි-ඇතුන් දඩයම් කිරීමේ නිරතවූ කණ්ඩායමේ කෙනෙකි.

‘වයි’ හන්දියෙන් වමට ගිය විට පළමුව කුඩා ලෝකන්තයත්, පසුව මහා ලෝකන්තයත් බලාගෙන බේකර්ස් ඇල්ල ඔස්සේ යළිත් ‘වයි’ හන්දියට ළඟා විය හැකිය. දකුණු දෙසින් ගියහොත් පළමුව හමුවන්නේ චිමිනි පොකුණ සහ බේකර්ස් ඇල්ලයි. මේ මාර්ග දෙකේම තම කැමැත්ත අනුව සංචාරකයෝ ගමන් කරති. අපේ කණ්ඩායම ද කිලෝමීටර් 9 ක් තරම් දුර නොගියත් බේකර්ස් ඇල්ල මාර්ගයේ ගොස් බොහෝ තොරතුරු, ඡායාරූප ලබාගත් අතර, ‘දිවයින ඔන්ලයින්’ කණ්ඩායම වැඩිමනත් වීඩියෝ දර්ශන ලබාගනිමින් හෝර්ටන්තැන්නේ අපූර්වත්වය වෙනම වැඩසටහනකට ගොනු කළේය. මෙම ලිපිය සමග එම වැඩසටහන ද ඔබට වෙනම නැරඹිය හැකිය.

එදින උදය වරුවේ සංචාරකයන්ට දී තිබුණු වසන්ත කාලය නිමකරමින් දහවල් 12.00 වන විට හාත්පස අඳුර පැතිර යමින් වැහි බිහිරුමක් පටන් ගත්තේය. මල් වැස්සක් ලෙස වැටුණු වැස්ස අනතුරුව අපව තෙමා දමන වැස්සක් බවට පත්කළේ අපේ රූගතකිරීම් සියල්ලක් නවතා දමා ය. එනිසා හීතලේ ගැහි ගැහී යළිත්, නවාතැන් බංගලාවට දුවගෙන ආ අපි, අපේ අනෙක් නඩය එනතුරු ඔහිය සහ පට්ටිපොළ උද්‍යාන පිවිසුම් දක්වා කැබ් රථයේ ගොස්, වැඩිමනත් රූසිරි වින්දෙමු. මේ අතර උද්‍යාන පාලක සිසිර රත්නායක මහතා හමුවී උද්‍යානයේ කටයුතු ගැන කතාකරන්නට ද අමතක නොකළෙමු.

මේ දිනවල උද්‍යානයට පැමිණෙන සංචාරක පිරිසේ පැහැදිලි වැඩිවීමක් ඇත. එසේම, හොඳ ආදායමක්ද ලැබේ. එනමුත් පැමිණෙන සංචාරකයන්ගෙන් අතළොස්සක් විනය විරෝධී, නීති විරෝධී කටයුතුවලද නිරත වෙති. ඔවුන් හැසිරවීමට උද්‍යාන නිලධාරීන්ට වෙනම වෙහෙසක් ගැනීමට සිදුවේ. එසේම, හෝර්ටන්තැන්නේ වසන්තය නිමාවී දැන් අන්තර් මෝසමේ බලපෑම පටන් ගෙන ඇත. දිවා කාලයෙන් පසු වැසි වැටෙන්නේ එනිසාය. එසේම, තවත් ටික කාලයකින් ඊසාන දිග මෝසමත් සමග දිගු වර්ෂා කාලයක්ද අපේක්ෂිත ය. එවිට නෙලූ වසන්තය ද වැස්සේ දියවී යනු ඇත. හෝර්ටන්තැන්න යළිත් ප්‍රභාමත් වන්නේ එළැඹෙන දුරුත්ත නිමවූ පසුව ය.

(ස්තුතිය – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, උද්‍යාන භාර නිලධාරී සිසිර රත්නායක මහතාට, ආචාර්ය රේණුකා නිලන්ති රාජපක්ෂ මහත්මියට)

සැරිසර – ජගත් කණහැරආරච්චි / රංග විදානේ
ඡායාරූප – බුද්ධික ඩී.රණසිංහ, ලසිත සුරංග කුළුගම්මන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here