Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් වැස්සත් එක්ක චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

වැස්සත් එක්ක චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

0
21


Risk of Chikungunya disease spreading with rain

නිරිත දිග මෝසම් වර්ෂාව ඇරඹීමත් සමඟ මදුරුවන් වැඩි වශයෙන් බෝවීම හේතුවෙන් චිකුන්ගුන්යා රෝගය වසංගත තත්වයක් දක්වා ඉහළ යා හැකි බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා අනතුරු ඇඟවීමක් කර ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ ගැබිනි මවුවරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, දිගු කල් පවතින ලෙඩ රෝග සහිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් මෙම තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
“දැනට කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක ශීඝ්‍රයෙන් පැතිර යන චිකුන්ගුන්යා වයිරසය මාරාන්තික නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැත,” යනුවෙන් වෛද්‍ය තිසේරා මහතා පැවසීය. කෙසේ වෙතත්, ඔහු පෙන්වා දුන්නේ ඉදිරි කාලය තුළ චිකුන්ගුන්යා වයිරසයට අමතරව ඉන්ෆ්ලුවෙන්සා වැනි වයිරස් ද පැතිර යාමේ අවදානම පවතින බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් පැවසුවේ, චිකුන්ගුන්යා වයිරසය ඩෙංගු රෝගයේ වාහකයන් වන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බපික්ටස් යන මදුරුවන්ගෙන් බෝවන බවයි.
“දැනට පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඉවතලන අයිතම, ජලය රැස්වන ඉවත දැමූ භාජන ආදියෙහි ද, ගෘහාශ්‍රිත මුළුතැන් ගෙවල සින්ක් නළයෙන් වතුර කාන්දුවන භාජන, ශීතකරණතැටි වැනි බඳුන්වල මෙම රෝගාවාහක මදුරුවන් වැඩි වශයෙන් බෝවන බව,” ඇය අවධාරණය කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ වැඩබලන විශේෂඥ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවේ මදුරුවන් බෝවීම පාලනයෙන් සහ මදුරු දෂ්ට වළක්වා ගැනීමෙන් චිකුන්ගුන්යා සහ ඩෙංගු ඇතුළු වයිරස ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බවයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වෛද්‍ය පරේක්ෂණ ආයතනයේ වයිරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය ද සහභාගී වී අදහස් දැක්වූවාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here