ඝාතකයෝ නිරුපද්‍රිතව පලායති
පාතාල කල්ලියක වැඩක්ද වෙනත් පාර්ශ්වයක්ද
ලිපියකට අත්සන් ගැනීමේ මුවාවෙන් වෙඩික්කරු ඇවිල්ලා
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ සිය කාර්යාලයේදීම ඊයේ (22දා) උදේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් ද එසේ නැතිනම් වෙනයම් කණ්ඩායමක් විසින් ද යන්න ගැන සෙවීමට පැති කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ඝාතනයට ලක්වූ 37 හැවිරිදි ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ සිය කාර්යාලයේ මහජන දිනය සඳහා සහභාගි වෙමින් සිටියදී එහි පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
උදේ 10.25 ට පමණ ලිපියකට අත්සන් ගැනීමට අවශ්‍ය බව කියමින් සභාපතිවරයාගේ කාමරය වෙත ගොස් ඇති කුලී ඝාතකයන් ඔහු සිය නිල අසුනේ සිටියදීම වෙඩි තබා ඝාතනය කර නිරුපද්‍රිතව පලාගොස් ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
පිස්තෝල අවියක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර කුලී ඝාතකයන් යතුරුපැදියකින් ඒ සඳහා පැමිණ ඇති බවද මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.
විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනය මිදිගම ලසාට විරුද්ධ පාතාල කල්ලියක් විසින් සිදු කරන්නට ඇති බවයි. මිදිගම ලසා හරක් කටාගේ සමීපතමයකු වන අතර මිදිගම රුවන් සහ මිදිගම චූටි යන පාතාල අපරාධකරුවන් සමග ද සබඳතා පවත්වා ඇත.
මිදිගම චූටි සහ මිදිගම රුවන් ද හරක්කටාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෝ වූහ. හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් පසු මිදිගම චූටි සහ මිදිගම රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ගැටුම් ඇති කරගෙන තිබිණි. පසුව ඔවුන් දෙදෙනා විරසකවී වෙන වෙනම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට පටන්ගෙන ඇත.
මිදිගම ලසා ඔවුන් දෙදෙනාම ඇසුරු කළ ද පසු කලෙක මිදිගම රුවන් ඔහු සමග විරසකවී ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිදිගම චූටි මොහුට උදව් උපකාර කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී තිබිණි.
මෙම සම්බන්ධතාව නිසා විරසකවී සිටි මිදිහට රුවන්ගේ පාර්ශ්වය මෙම ඝාතනය කරන්නට ඇති බවට සැකයක් මතුවී ඇත.
මිදිගම ලසා මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වෙද්දී බුද්ධි අංශ මගින් දැනුම්දී තිබුණේ මෙම පුද්ගලයා අපරාධ චෝදනා රැසක් ඇති අයකු බවටය. එහෙත් ඒ දැනුම්දීම් සලකා නොබලා මොහුට නාමයෝජනා ලබාදී තිබූ බවද පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සහ ඝාතකයන් පලායන ආකාරය සහිත සී.සී.ටී.වී. දර්ශන උපයෝගි කරගෙන විමර්ශන පවත්වාගෙන යයි.
විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහු අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරගතව සිට ඇත. ඉකුත් 2008 වර්ෂයේ ජූලි මස 04 වැනිදා මිදිගම යුනිවෙලා ඇඟලුම් කම්හලේ සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් නතර කර අත්බෝම්බ හා ගිනි අවි පෙන්වා භීතියට පත් කර රුපියල් දෙලක්‍ෂ හැත්තෑ දහසක රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් මොහුට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ.
2014 වර්ෂයේ මාර්තු 22 වැනිදා හබරාදූව පළාතේදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මොහු අධිකරණයෙන් වරදකරු වී ඇත.
2015 වර්ෂයේ ඔක්තෝබර් 28 වැනිදා කුරුණෑගල ප්‍රදේශයේ අයකුට මුදල් වංචා කිරීම සහ 2018 වර්ෂයේ මාර්තු 11 වැනිදා මිදිගම දී ටී 56 අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම, මිරිස්ස ධීවර වරාය ආසන්නයේදී අමිල ප්‍රසංග හෙවත් සංෂයින් සුද්දා නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම, සැලසුම් කිරීම සම්බන්ධයෙන් මිදිගම ලසාට චෝදනා එල්ල වී තිබිණි.
2021 වසරේ සැප්තැම්බර් 03 වැනිදා තොටුපළ ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තබා ඝාතනය කිරීම, සැලසුම් කිරීම සම්බන්ධයෙන් ද මිදිගම ලසාට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභා උඩුකාව කොට්ඨාසයෙන් තේරීපත්වී ඇති ජාතික ජන බලවේග පක්‍ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට ජංගම දුරකථනයට කතා කර අවස්ථා දෙකකදී මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
තවද වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරීම හා තවත් අයකුට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් ද මිදිගම ලසාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඔහු තේරීපත් විය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය පැවැත්වෙන දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයකු පැහැරගෙන ගොස් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් ද මිදිගම ලසාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධිය රටේ මහත් ආන්දෝලනයට ලක්වූ අතර ඉන්පසුව පැවැති ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සභාපති තේරීමේ ඡන්ද විමසීමෙන් ලසන්ත වික්‍රමසේකර මහතා ඡන්ද 23 ක් ලබාගෙන ජයග්‍රහණය කළේය. එහිදී විපක්‍ෂයට හිමිවී තිබුණේ ඡන්ද 22 කි.
වික්‍රමසේකර මහතා මියයන විට 37 වැනි වියේ පසුවිය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු
Saru FM Media