වවුනියාව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිට තහනම් නියෝගයක්

0
1

වවුනියාව නගර සභාවේ නගරාධිපති ලෙස සුන්දරලිංගම් කාන්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස පරමේශරන් කාර්තිපන් යන අය එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (21දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වවුනියාව නගර සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන කන්දයියා විජය කුමාර් සහ සිවසුභ්‍රමනියම් ප්‍රේමදාස් යන අය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම යළි නොවැම්බර් මස 19 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය විසින් නියෝග කළේය.

නීතිඥ මංජුල බාලසූරිය ගොනු කළ මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ වවුනියාව නගරාධිපති ඡන්ද 11ක් ලබා ගෙන නගරාධිපති ලෙස තේරී පත් වූ අතර, ඔහු සමඟ තරග වැදුණු අනිත් සභිකයා ඡන්ද 10ක් ලබා ගෙන තිබුණු බවත් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් වූ තැනැත්තා ලබා ගත් ඡන්ද ගණන 11 ක් වන අතර, ඔහු සමඟ තරග වැදුණු අනික් සභිකයා ඡන්ද 10 ක් ලබා ගත් බවය.

නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරී පත් වූ සභිකයා නගර සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකු බවද, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරී පත් වූ පුද්ගලයන්ට එම තනතුරු දැරීම සඳහා ප්‍රමාණවත් ඡන්ද නොලැබුණු බව ද පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ.

ඒ අනුවල ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවත්ල ඔවුන් එම ධුරවල කටයුතු කිරීම නීතියට පටහැනි බවත්, එම ධුර බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here