වලස්මුල්ල උසාවියට භාරවුණු සම්පත් මනම්පේරි දින 7ක් නාකොටික් රැඳවුම් භාරයට

0
6

බැකෝ සමන් හා තැඹිලි ළහිරුත් දෙසැ. 2 තෙක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙති

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බව කියන අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් සඟවා තැබීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබියදී පුරා දින ගණනාවක් සැඟව සිට නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවූ සම්පත් මනම්පේරි නමැත්තා ලබන 24 වැනිදා දක්වා (දින හතක්) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමට වලස්මල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය ඊයේ (17දා) අවසර ලබාදුන්නාය.

අභියාචනාධිකරණය විසින් මේ වනවිට ලබාදී ඇති නියෝගය ප්‍රකාරව එම සැකකරුගේ ආරක්ෂාව සඳහා ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය. සැකකරු ලබන 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටත් එදිනට විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසටත් මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන්නේ යැයි කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් මිද්දෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබූ අතර සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන ඉඩමක වළලා තිබූ එකී රසායනික ද්‍රව්‍ය ගොඩගැනීමට පෙරම සම්පත් මනම්පේරි නමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් දින ගණනාවක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සැඟව සිට තිබිණි. ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ නීතිඥවරුන් සිය සේවාදායකයා කඩිනමින් මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට අපේක්ෂා කරන බැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව සඳහා නිසි පියවර ගැනීමට පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් කරන ලෙස පසුගිය 15 වැනිදා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි. එකී ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය සම්පත් මනම්පේරි නමැත්තාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපරිම පියවර ගන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් කොට තිබිණි.

මේ අතර අනුර විදානගමගේ හෙවත් කජ්ජා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සහ එකී ඝාතන සැලසුම් කිරීම ඇතුළු චෝදනා එල්ල වූ බැකෝ සමන් නමැත්තා සහ තැඹිලි ළහිරු නමැත්තා ද ලබන දෙසැම්බර් 2 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කර විමර්ශනය කිරීමට ද වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය පොලිසියට අවසර ලබා දුන්නාය. මීට දින කීපයකට පෙර ඉන්දුනීසියාවේ සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි එම සැකකරුවන් දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝග ලබාගෙන ඇතැයි පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම අවසරය ලබාදුන්නාය.

එම සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම නිසා අධිකරණ භූමියට මෙන්ම අවට ප්‍රදේශයට ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here