වර්ෂාවෙන් මහාමාර්ග 75 කටත් දැඩි හානි

0
1

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන මහාමාර්ග 75 කට දැඩි හානි සිදුවී ඇති බවත් එම මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබාදී ඇති බවත්, වර්ෂා තත්ත්වය අඩුවීමත් සමග මහාමාර්ග පද්ධතිය යථා තත්ත්වටට පත්කිරීම ට සියලු කටයුතු සිදුකරමින් පවතින බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ගවලට සිදුවූ හානි සම්බන්ධයෙන් අද (27දා) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කීය-
‘මධ්‍යම, ඌව සහ නැගෙනහිර පලාත්වල මාර්ග රැසකට මේ මොහොත වන විට බරපතල හානි සිදුව ඇති අතර උතුරුමැද, දකුණ, සබරගමුව සහ වයඹ පලාත්වල මාර්ගවලට සුළු වශයෙන් හානි සිදුවී තිබෙනවා. නැගෙනහිර පලාතේ බොහෝ මාර්ග ජලයෙන් යටවීම නිසා අවහිර වී ඇති අතර කඳුකර ප්‍රදේශවල තැනින් තැන නායයාම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇතිව තිබෙනවා.

හානියට පත් සියලු මාර්ගවල අවහිරතා ඉවත්කර රථවාහන ගමනාගමනයට හා ජනතාවට ගමන් කිරීමට සුදුසු ආරක්‍ෂිත ප්‍රවේශයන් ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පැය 24 පුරාම අඛණ්ඩ සේවාවක් ලබාදෙමින් සිටිනවා. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත්භාර අධ්‍යක්‍ෂ කාර්යාලල ප්‍රධාන ඉංජිනේරු හා විධායක ඉංජිනේරු කාර්යාලවල කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී සේවා කටයුතුවල නිරත වෙනවා.

දැනට තාවකාලිකව වසා ඇති කඩුගන්නාව මාර්ග කොටස පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් හා නිර්දේශ ලැබුණු වහාම වර්ෂා තත්ත්වය අඩුවීමත් සමගම එහි පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. මෙම මාර්ගය පූර්ණ ආරක්‍ෂික තතත්වයට ගෙන ඒමට ගල් 25 – 30 අතර සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පාලම් වලට සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉදිරියේදී පාලම් හානි සිදුවුවහොත් එම ස්ථානවලට කඩිනමින් තාවකාලික යකඩ පාලම් ඉදිකිරීමට කටයුතු කරනු ලබන බව ද පැවසීය.

‘රජයේ මූල්‍ය පහසුකම් ලෙස වාර්ෂික අයවැය මගින් වෙන්කර දී ඇති ගංවතුර හානි ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මූල්‍ය ප්‍රතිපාදන මගින් හානිවූ සියලු මාර්ග කඩිනම් ප්‍රතිසංස්කරණ කිරීමට කටයුතු කරනවා’ යැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here