ඊර්ෂ්‍යාව, අධික සැකය, අනාරක්ෂිත බව සහ තම ආදරණීය පාලනය කිරීමේ උමතු අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස, තම ලෙයින් බිහිවූ දරුවන් පවා සාහසික ලෙස ඝාතනය කිරීමට පෙළඹෙන මිනිසුන් මේ ලෝකයේ සිටිනවා යැයි කිවහොත් ඔබ විශ්වාස කරනවාද?
එවැනි මිනිසුන් තම වරද සිය මානසික අස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් බව පවසා නිදහස් වීමට දරන උත්සහයක් ඔබ දැක තිබෙනවාද?
එලෙස, පාලනය කරගත නොහැකි මානසික අස්ථාවර වීමක ප්‍රතිඵලයක් ද යන ගැටළුව ඉස්මතු වූ එක් කැපීපෙනෙන සාහසික අපරාධයක් ගැන ඔබට කියන්නයි අද අපි මේ සූදානම් වෙන්නෙ ?
කේලර් පවුල
ජේම්ස් ක්‍රෙග් කේලර් 1965 ඇමෙරිකාවේ ටෙක්සාස් හි වෙදර්ෆෝම් ප්‍රදේශයේදී උපත ලැබුවා.
ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ, ඉන්ජිනේරු පීඨයේ කඩවසම් සහ දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස කැපීපෙනුණු ඔහුට අවසන් වසරේ අධ්‍යාපනය ලබද්දී, ටෙක්සාස් විශ්ව විද්‍යාලයේම මානව ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළු වූ හුරුබුහුටි සුන්දර යුවතියක් වුණු කෙරන් වයිට් මුන ගැසුණා.
මුලින්ම, මිත්‍රත්වයකින් ඇරඹි ඔවුන්ගේ කතාබස් ඉතා කෙටි කලකින්ම සුන්දර ආදර සබඳතාවයක් දක්වා වර්ධනය වූ අතර දෙපාර්ශ දෙමාපියන්ගේ ආශිර්වාද සහ හිත මිතුරන්ගේ සුබ පැතුම් මැද 1980 දශකයේ අග භාගයේදී ඉතාම සුන්දර සරල විවාහ මංගල්‍යයකින් පසු එක් කැදැල්ලක සෙවණට පැමිණීමට ඔවුන් වාසනාවන්ත වුණා.
ජේම්ස් කේලර් හොඳ වැටුපක් ලබන රැකියාවක නිරත වූ නිසා කිසිදු ආර්ථික අපහසුතාවයක් ඔවුන්ට නොතිබූ අතර විවාහ වී ඉතාම කෙටි කලයකදී එනම් වර්ෂ 1991 දී සිය වැඩිමහල් දියණිය එමලි සහ 1993 වර්ෂයේදී දෙවෙනි දියණිය ලෝරන්ගේ උපතත් සිදුවූ නිසා රැකියාවක නිරත නොවීමට කේරන් තීරණය කරා.
ඊට වසර කීපයකට පසු එනම්, 1999 දී සිය එකම පුතුගේ උපත ලැබීමත් සමඟම ඉතා ඉහළ වැටුපක් ලබන නව රැකියාවක් හිමිවීම නිසා සිය පුතු තමාට වාසනාව ගෙන ආවයි යන්න ජේම්ස් නිතරම පැවසූ කතාවක්.
හොඳ වැටුපක් ලැබීමත් සමඟම නවීන සුඛෝපභෝගී කාර් රථයක් සහ අලංකාර ගෙවත්තකින් යුතු සුවිසල් නිවසක්ද මිලදී ගත් ජේම්ස් සමාජයේ ප්‍රියමනාප, ආදරණීය සහ පරාර්ථකාමී පුද්ගලයෙක් කා අතරත් හොඳ නමක් දිනා සිටියා.
ඉතාම කඩිසර, ආදරණීය ගෘහණියක් ලෙස කෙරන් ද ඔවුන් ජීවත් වන සමාජයේ ජනප්‍රිය කාන්තාවක් වූ අතර දරුවන් ගැන ඇයගේ දැඩි අවදානය නිසා එමලි සහ ලෝරන් ඉතාම හොඳින් සිය අධ්‍යාපන කටයුතු අවසන් කළ අතරම ක්‍රීඩා සහ සංගීතය සඳහාත් ඉහළ කැමැත්තක් දැක්වූවා.
සිය උසස් අධ්‍යාපනය සඳහා ඖෂධවේදය හැදැරීමට එමලි තීරණය කළ අතර සංගීතය හැදෑරීමට ලෝරන් තීරණය කර තිබුණා.
කාරුණික සහ අහිංසක දරුවෙක් ලෙස පවුලේ සියළු දෙනාගේ සුරතල් මැද ෂෝන් හැදී වැඩුනේත් මේ අතරයි.
සතුටේ පළමු දෙදරුම
ඉතාම ප්‍රීතිමත් පවුලක් ලෙස සමාජයේ කැපීපෙනුනු කේරන් පවුලේ නොදකින පැතිකඩ ගැන මුල්ම පණිවිඩය ලැබී තිබුණේ කේරන්ගේ සොයුරිය වුණ ලින්ඩාටයි.
ඇයට මේ පණිවිඩය ලබා දී තිබුණේ අන් කිසිවෙකුත් නොව ඇයගේ සොයුරිය කෙරන් විසින්ම වීම විශේෂත්වයක් ගන්නවා.
2007 වසරේ එක් උදෑසනක සිය සොයුරියට දුරකථන ඇමතුමක් ගත් කේරන් ප්‍රකාශ කරේ තවත් මේ සියළුම දේ දරාගෙන ජීවත් වීමේ හැකියාවක් ඇයට නොමැති බවයි.
නිවසේ වියදම් වෙනුවෙන් ඇයට ලබාදෙන සෑම සතයක් සඳහාම හේතු විමසීමට ජේම්ස් කටයුතු කරන බවත්, සිය අවශ්‍යතා සඳහා ඉතාම සීමත මුදලක් පමණක් ඔහු ලබාදෙන බවත්, කෑම, බීම, නෑම, නිදාගැනීම, අවදී වීම ආදී නිවසේ සෑම කටයුත්තක්ම සිදු කිරීමට තමාටත් තම දරුවන්ටත් කාල සටහනක් ඔහු පිළියෙළ කර ඇති බවත්, නිවස පිරිසිදුව තබා ගන්නා ආකාරයේ සිට එක් එක් දින වලදී පිළියෙල කර යුතු කෑම වර්ග පවා තීරණය කරන්නෙ ජේම්ස් විසින් බව කේරන් ලින්ඩාට පවසා තිබුණා.
මුලදීට වඩා දැන් ටිකෙන් ටික මේ තත්වය දරුණු අතට හැරෙමින් පවතින බව ඇය තවදුරටත් පවසා සිටි නමුත් ජේම්ස් එවැනි පුද්ගලයෙක්ද යැයි විශ්වාස කිරීමේ සැකයක් තමාට ඇතිවූ බවත් අනෙක් අතට සිය සොයුරියට බොරු කීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා එය විශ්වාස නොකර සිටීමේ හැකියාවකුත් නොමැතිව දෙලොවක් අතර තමා සිරවූ බව ලින්ඩා ප්‍රකාශ කර තිබුණා.
කේරන්ගේ රහස
තරුණ දියණියක් දෙදෙනෙකුගේ මවක් වුවත් කේරන් සිය සිරුරේ හැඩය සහ නීරෝගීබව ගැන හොඳින් සැළකිලිමත් වූ කාන්තාවක්.
ඒ නිසා, සෑම විටම පෝෂ්‍යදායී ආහාර ගැනීමටත්, සිරුරේ හැඩය පවත්වා ගැනීමට ව්‍යායාම කිරීමටත් ඇය ඉතා ප්‍රිය කරා.
කේරන්, ලින්ඩාට පැවසූ ලෙස ජේම්ස් ඇයට කොතරම් නීතිරීති පනවා තිබුණත් ඔහු රැකියාව සඳහා නිවසෙන් පිටත්වූ පසු ඔහුට හොරෙන් ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම කිරීමට කේරන් කටයුතු කරේ එයින් සිරුරේ හැඩය රැකගැනීමටත් වඩා ඇගේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමට හොඳ උදව්වක් ලැබෙන නිසයි.
සිය ශරීර සුවතා මධ්‍යස්ථානයට පැමිණෙන මේ හැඩැති කාන්තාව ගැන එහි හිමිකරුවන්ගේ අවදානය යොමුවූ අතර ඔවුන් ඇයට එහි පුහුණු උපදේශිකාවක් ලෙස රැකියා අවස්ථාවක් ලබා දීමටත් නියමිත හොඳ වැටුපක් ලබා දීමටත් තීරණය කර තිබුණා.
මේ පිළිබඳව දැනගත් කේරන් ඉතාම සතුටට පත්වී එම අවස්ථාව භාර ගැනීමට එකඟ වුණේ ඇගේ වියදම් වෙනුවෙන් ඉන්පසු ජේම්ස් හමුවේ බැගෑපත් වීමට ඇයට අවශ්‍ය නොමැති වීම නිසයි.
කෙසේ නමුත්, ඇයගේ මේ ගමන සහ රැකියා අවස්ථාව ගැන ජේම්ස්ට ආරංචි වෙන්නේ නේ අතරයි.
නමුත්, කේරන් බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා සාමකාමීව තමා ඇයගේ රහස ගැන දන්නා බව පැවසූ ජේම්ස් තමා නිවසට පැමිණෙන විට නිවසේ සිටින ලෙසත් නිවසේ සහ දරුවන්ගේ වැඩ කටයුතු අතපසු වීම නොකරන ලෙසත් කේරන්ගෙන් ඉල්ලා සිටි අතර ඇය රැකියාවක් කරනවාට තමා අකමැති නැතිබවත් පවසා සිටියා.
අසම්මත සබඳතා
මේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සේවයට සනී රයිස් නැමැති සමවියේ කාන්තාවක් පැමිණීමත් සමඟම කේරන් සහ ඇය අතර හොඳ මිතුදමක් ආරම්භ වුණා.
රැකියාව අවසන් කිරීමෙන් පසු කෝපි බීමට, සාප්පු සවාරියේ යෙදීමට සහ රූපලාවන්‍යාගාර වල සත්කාර සඳහා යෑම ආරම්භ කර ඔවුන්ගේ මිතුදම ටිකෙන් ටික ආදර සබඳතාවයක් දක්වාම දුරදිග යාම සිදුවුණා.
Saru FM Media