වන සත්ත්ව සම්පත රකිමින් රට සංවර්ධනය කිරීම

0
1

රටක සංවර්ධනය හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. සංවර්ධනය එම රටෙහි පරිසර පද්ධතියේ සතුරෙකු නොවිය යුතුය. එබැවින් සංවර්ධනයත්, පරිසරයත් සමතුලිත කිරීමේ පරමාර්ථයෙන් තිරසාර සංවර්ධනය වැනි සංකල්ප බිහි වී ඇත. රටක් සංවර්ධනය කිරීමේදී අනාගතයට ප්‍රයෝජනගත හැකිවන පරිදි පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව තිරසර සංවර්ධනයේ දී සාකච්ඡා කරයි.

පරිසරයට සම්බන්ධ විවිධ පාර්ශ්ව අතරින් වන සතුන්ට සුවිශේෂී තැනක් හිමි වේ. අප සෑමවිටම පරිසරයේ ජීවත්වන සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුය. නමුත් අද වන විට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා විශේෂයෙන්ම සංස්කෘතික වටිනාකමක් සහිත සතුන්ගේ පැවැත්ම සහ සුරක්ෂිත බව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වෙයි. වර්තමානයේ අලි – මිනිස් ගැටුම පිළිබඳව සිදුවීම වාර්තාවන්නේ මෙවැනි පසුබිමකදීය. අලි මිනිස් ගැටුම මෙරට සොබාදහමේ පැවැත්මට ද අලියා හා බැඳුන සංස්කෘතික පැවැත්මට ද ප්‍රබල අභියෝගයකි.

ලොව ඇති රටවල් අතරින් අලියන් ජීවත්වනවා යැයි සැලකෙන්නේ රටවල් 27 ක පමණි. එයින් ද රටවල් 13 ක් ආසියානු මහද්වීපයට අයත් ය. අනෙක් රටවල් 14 අප්‍රිකානු මහද්වීපයට අයත් ය. මෙකී රටවල් 27 අතරින් සංචාරකයෙක්ට නිදහසේ අලි බලන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. පරිසරවේදීන්ගේ සාමූහිකත්වයෙන් ලොව පළමුවරට සංඛාත්මක අලි ජනන සිතියමක් (Data – Based Elephant Distribution Map) නිර්මාණය කළ ලොව එකම රට ශ්‍රී ලංකාවයි. එයට අනුව ශ්‍රී ලංකාවෙන් 60%ක භූමි ප්‍රමාණයක එනම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක පමණ අලියන් දක්නට ලැබෙන බව හඳුනාගෙන ඇත.

අලි – මිනිස් ගැටුමට ප්‍රධාන හේතු

  1. අලීන්ගේ වාසස්ථාන අහිමි වීම.

අලි – මිනිස් ගැටුමට විවිධ සාධක හේතු වී ඇති බව හඳුනාගත හැකිය. මහා පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘති හා සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත්, ජනාවාස ව්‍යාප්ත වීමත් හේතුවෙන් අලියාට අයත් ස්වාභාවික වාසස්ථාන වූ වියළි කලාපීය වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අලි ඇතුන්ගේ වාසභූමි අහිමි විය. එමෙන්ම කුඩා කුඩා වශයෙන් කොටස්වලට සීමාවිය. මෙවැනි හුදකලා වූ වනාන්තරවල අලියන්ට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සහ ජලය නොලැබීම ද අලියන් ගම් වැදීම කෙරෙහි බලපාන හේතු අතරින් එක් හේතුවකි.

  1. අලීන්ගේ සංක්‍රමණ මාර්ග අවහිර වීම

අලි ඇතුන් ඔවුන්ගේ ආහාර, ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා එක් වනාන්තරයක සිට තවත් වනාන්තරයකට සංක්‍රමණය වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ සඳහා ඔවුන්ට ස්වභාවිකවම සකස් වුණ සංක්‍රමණ මාර්ග ඇත. වර්තමානයේ මෙම සාම්ප්‍රදායික සංක්‍රමණ මාර්ග නොසලකා හරිමින් මහාමාර්ග, ජලාශ, වාසස්ථාන ආදිය ඉදිකර ඇත. එමෙන්ම විදුලි වැට ඉදිකරමින් අලියන්ගේ ප්‍රවේශ මාර්ග වැසී ඇති බවක් දක්නට ලැබෙයි. මේ නිසා අලියන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග අවහිර වී තිබේ. මේ හේතුවෙන් අලියන්ට එහා මෙහා ගමන් කිරීමට නොහැකි වී ඇත. එබැවින් ඔවුන් බලහත්කාරයෙන් එම මාර්ග බිඳගෙන මිනිස් වාසස්ථාන සහිත ප්‍රදේශවලට ගමන් කිරීමට පෙළඹෙයි.

ගැටුමෙන් සිදුවන බලපෑම

  1. ජීවිත සහ දේපළ හානි

සෑම වසරකම අලි ප්‍රහාරවලින් සැලකිය යුතු මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වන අතර දේපළ හානි ද බහුල වශයෙන් සිදුවෙයි.

  1. ආර්ථික හානිය

ගොවීන්ගේ වගාබිම් විනාශ වීම නිසා ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වේ. මේ හේතුවෙන් බොහෝ පවුල් දිළිඳුකමට ඇද වැටෙයි. මෙය රටේ සමස්ත කෘෂිකර්මාන්තයටම ප්‍රබලව බලපෑම් ඇති කරයි. අස්වනුවලට වන හානිය ද සුළුපටු නොවේ.

  1. මානසික හා සමාජීය බලපෑම්

අලි ප්‍රහාරවලට නිරන්තරයෙන් මුහුණ දෙන ගම්මානවල ජනතාව දැඩි බියකින් හා අනාරක්ෂිත හැඟීමකින් ජීවත් වේ. මෙය මානසික ආතතියට හා සමාජයීය අසමතුලිතතාවයට හේතුවකි.

වන අලින්ට එල්ලවන බලපෑම

  1. අලි මරණ සහ අලින්ට සිදුවන තුවාල

අලින්ට එල්ල වන නීති විරෝධී වෙඩි තැබීම්, හක්ක පටස් යෙදීම්, විදුලිසර වැදීම් සහ දුම්රිය අනතුරු නිසා සෑම වසරකම විශාල අලි ගණනක් මියයයි. පසුගිය ආසන්න වසර පහ තුළ මියගිය අලි සංඛ්‍යාව මෙසේ දැක්විය හැකිය.

2020 – 328, 2021 – 375, 2022 – 266, 2023 – 488, 2024 – 396,

(Voice For Elephant Sri Lanka page ඇසුරෙනි.)

  1. අලියා වෙතින් පිළිබිඹු කෙරෙන චර්යාත්මක වෙනස්කම්

සත්ත්ව විශේෂඥයන් පවසන්නේ මිනිසුන්ගෙන් නිරන්තරයෙන් ඇතිවන තර්ජන සහ පීඩනයන් නිසා අලීන්ගේ සාමාන්‍ය හැසිරීම් රට සම්පූර්ණයෙන්ම වෙනස්වන බවයි. මිනිසුන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන බිය ගැන්වීම්, ශබ්ද නිසා අලින් ආක්‍රමණශීලී වෙයි. අලින් යනු රංචු පිටින් ජීවත්වන සතුන් විශේෂයකි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට රංචුවක් ලෙසින් එකට සිටිය නොහැකිය. අලින්ට නිරන්තරයෙන් එම බලපෑම් එල්ලවන විට රංචු කඩාකප්පල් වී තනිවන අලින් ආතිතයට පත් වී අනපේක්ෂිත ලෙස හැසිරෙයි. නිරන්තර තර්ජන සහ වාසස්ථාන අහිමිවීම නිසා අලින් අධික මානසික පීඩනයට ලක්වෙයි. අලින්ගේ මතක ශක්තිය ඉතා ඉහළය. මිනිසුන්ගෙන් ලැබෙන අමිහිරි අත්දැකීම් නිසා අලින් ඕනෑම විටෙක පහරදීම් සිදුකිරීමට ද පෙළඹෙනු ලබයි.

  1. අලිගහනයට වන බලපෑම

අලි-මිනිස් ගැටුම්ට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ප්‍රජනන ක්‍රියාවලියේ නිරතවන වැඩිහිටි අලියන් ය. මෙය අලිගහනයේ වර්ධනයට සෘජුවම බලපෑම් කරන ජාන විවිධත්වය අඩුවීමේ අවධානමක් ඇති කරයි.

තිරසර සංවර්ධනයක් සඳහා අවශ්‍ය විසඳුම්

මෙම ගැටලුවට සාර්ථකව මුහුණ දීම සඳහා එක් ක්‍රමවේදයක් පමණක් ප්‍රමාණවත් නොවේ. මිනිසාගේ සහ අලින්ගේ අවශ්‍යාතා දෙකම සමබරව සලකන දීර්ඝකාලීන හා බහුඅංශික ප්‍රවේශයක් මෙයට අවශ්‍ය වේ.

අලි – මිනිස් ගැටුමට විසඳුම්

  • වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක් වී ඒකාබද්ධ ජාතික සැලැස්මක් සකස් කර, එහිදී අලි වාසස්ථාන මායිම්වල මිනිස් ක්‍රියාකාරකම් සීමා කිරීම හා ඒවාට එරෙහිවන පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතුය.
  • උපායමාර්ගිකව ඉඩම් කළමනාකරණය කරමින් අලියන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග විද්‍යාත්මකව සිතියම්ගත කර ඒවා සංරක්ෂණ කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරමින් මිනිසුන් දැනුවත් කිරීම කළ හැකිය.
  • පරිසරයට හානි නොකර අලියන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට උපකාරී වන ආකාරයේ ‘ජීව වැටක්’ නිර්මාණය කිරීම කළ හැකිය. මෙහිදී අලියන් ආහාරයට ගැනීමට අකමැති පැඟිරි, කහ, ගම්මිරිස් වැනි වගාවන් සහ කටු සහිත ශාක යොදාගෙන ගම්මාන වටා ‘ජීවී වැටක්’ නිර්මාණය කළ හැකිය. මෙමගින් ඇතින්නියන්ට හානි සිදු නොවනවා පමණක් නොව ගොවීන්ට අමතර ආදායම් මාර්ගයක්ද ලැබෙනු ඇත. මෙමගින් පාරිසරික වශයෙන් තිරසාර වන අතරම සාමාන්‍ය වැටවල් නඩත්තු කිරීමට යන වියදම ද අවම වනු ඇත.
  • සුවඳ මත පදනම් වූ විකර්ෂණ පද්ධති ක්‍රියාත්මක කළ හැකිය. අලියන්ගේ ආඝ්‍රාණ හැකියාව ඉතා ඉහළය. මෙය පදනම් කරගෙන ඔවුන් අකමැති සුවඳක් නිකුත් කරන ආරක්ෂක පද්ධති නිර්මාණය කිරීම කළ හැකිය.
  • එහිදී අලින්ගේ නිතර ගැවසෙන ගම්මානවල මායිම්වලට මිරිස්, ගම්මිරිස් හෝ ඇතැම් කෘතිම රසායනික ද්‍රව්‍යවල සුවඳ නිකුත් කරන කුඩා ස්වයංක්‍රීය ඉසින යන්ත්‍ර සවිකිරීම කළ හැකිය. මේවා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අතර, චලන සංවේදක මගින් සක්‍රීය වන ආකාරයට සැකසිය යුතුය. මෙය ශබ්ද හෝ ආලෝක උපක්‍රමවලට වඩා ඵලදායී වන අතරම මෙමගින් වන අලියන්ගේ සුපුරුදු ගමන් රටාවලට බාධා නොකර ඔවුන්ට හානියක් ද සිදු නොවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට ඉතා පහසුවෙන් මේ තාක්ෂණය හඳුන්වා දිය හැකිය.
  • පර්යේෂණ හා තාක්ෂණික විසඳුම් අනුගමනය කරමින් වන අලියන්ගේ චලනයන් නිරීක්ෂණය කිරීමට GPS තාක්ෂණය සහ ඩ්‍රෝන යානා භාවිතය වැනි නවීන තාක්ෂණික ක්‍රම යොදා ගැනීමට පුළුවන.
  • ඵලදායී ආරක්ෂණ ක්‍රමවේද වශයෙන් ශබ්ද සහිත විදුලි වැටවල් ඉදිකිරීම නිවැරදි ප්‍රමිතීන්ට අනුව සිදුකිරීම සහ නඩත්තු කිරීම ප්‍රජාව සමග එක්ව ක්‍රමානුකූලව සිදු කිරීම යෝජනා කළ හැකිය.

මෙම සංකීර්ණ අලි – මිනිස් ගැටුම හුදෙක් තාක්ෂණික හෝ පරිසර කළමනාකරණ ගැටලුවක් නොවන බව පැහැදිලි ය. මෙම අභියෝගය ජය ගැනීම සඳහා අපට අවශ්‍ය වන්නේ විදුලි වැටකට එහා ගිය පුළුල් දැක්මකි. නිවැරදි ප්‍රතිපත්ති, ක්‍රමානුකූල ඉඩම් කළමනාකරණය, ප්‍රජා සහභාගීත්වය සහ පරිසර හිතකාමී ලෙස වන අලියා පිළිබඳ ධනාත්මක ආකල්පයක් ගොඩනැඟීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ.

අනාගතයේ දී වන අලියාගේ හඬ ගම්බද ජනතාවට භීතියක් නොවී, එය අපේ රටේ සංවර්ධනයේ සහ සොබාදහමේ සාමකාමී සහජීවනයේ සංකේතයක් බවට පත් වන්නේ නම්, අපට සැබෑ තිරසර සංවර්ධනයක් උදා කරගත හැකි වනු ඇත. ඒ සඳහා වූ ඒකාබද්ධව උත්සාහ කිරීම අප සැමගේ පරම වගකීමකි. මෙම අභියෝගය සාර්ථක කර ගැනීමෙන් අපට රටේ අනාගතයට දිය යුතු වටිනාම උරුමයක් ලෙස වන අලියාටත්, මිනිසාටත් ආරක්ෂිත භූමියක් ඉතිරි කළ බවට සාක්ෂි දැරීමට හැකි වනු ඇත.

● මිහිරි නවෝදා වික්‍රමසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here