ජනාධිපති අනුර කුමාර දිසානායක බණ්ඩාරවෙල මලයගම් නිවාස හිමිකම්පත් ප්‍රදානයේදී කියයි
වතු ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටුකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මලයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදීමේ අවස්ථාවට ඊයේ (12දා) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී එක් වෙමිනි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශනයට අනුව යමින් මලයගම් ප්‍රජාවගේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නිවාස 10,000ක වැඩසටහනේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා හිමිකම් පත්‍ර ලබාදීම මෙහිදී සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව පදිංචිව සිටින මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර මෙම එක් නිවසක් සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ ශ්‍රී ලංකා රජය විසින් නිවසේ යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කර ඇත. මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව සම්පාදනය කෙරුණු ග්‍රන්ථ කට්ටලයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. මෙරට ජනතාවට වඩා යහපත් ආර්ථික සහ සමාජයීය ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ඉන්දියානු රජය දක්වන සහාය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට, එරට ජනතාවට සහ එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවන ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ස්තුතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කටයුතු කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන දිගුකාලීන ඓතිහාසික සබඳතාවේත්, ඉන්දියාවත්, ඉන්දියානු ජනතාවත්, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන ලෙන්ගතුබවේත් සංකේතයක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකියි.
අපේ රට තුළ මලයගම් ජන ප්‍රජාව සුවිශේෂ ජන කොටසක්. අපේ ආර්ථිකයේ ප්‍රබල වැඩකොටසක් මෙම ජනතාව විසින් ඉටු කරනවා. වසර 202කට ආසන්න කාලයක් මේ මහපොළොව සමඟ පොරබදමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සුවිශේෂ මෙහෙයක් ඉටු කරනවා. මීට වසර 202කට පෙර මෙම ජනතාව ශ්‍රී ලංකාවට එන
ගමනේදීත් විශාල පිරිසක් තැනින් තැන විවිධ උපද්‍රව හේතු කර ගෙන මියගියා. සත්‍ය තත්ත්වය නම්, මේ වසර 202 පුරා ඔවුන් මියයමින් ජීවත් වෙනවා. ඒ නිසා එම ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරදෙමින් සැපවත් ජිවිතයක් ලබාදීමට ආණ්ඩුවක් ලෙස අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා. එහිදී අපි ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මේ රටේ කිසිඳු බිම් අඟලක් හිමි නැති ජන ප්‍රජාවක් අපි අතර ජීවත් වෙනවා. එම ජනතාවට ඉඩමක සහ නිවසක හිමිකම ලබාදීම රජයක වගකීමක්. අපි එම කාර්යය ඉටු කිරීම සඳහා වූ වැඩපිළිවෙළක නිරතව සිටිනවා.
ඒ වගේම, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබාදිය යුතුයි. දිගුකාලයක් පුරා රුපියල් 1750ක වැටුපක් මෙම ජනතාව ඉල්ලමින් සිටිනවා. අප කුමන ආකාරයකින් හෝ මෙම වසර ඇතුළත එම හිමිකම ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ මන්දපෝෂණය, සෞඛ්‍ය අනාරක්ෂිතභාවය වැඩිම මලයගම් ජන ප්‍රජාව තුළයි. ඒ නිසා සෞඛ්‍ය ගැටලු කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වතු ආශ්‍රිත රෝහල් රජයට පවරා ගැනීම, අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල යොමු කිරීම මෙන්ම ඖෂධ ලබාදීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම ඉටු කරන බවට අපි ඔබට සහතික වෙනවා. ඒ වගේම පුරවැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි. වර්තමාන රජය ඉදිරි වසර කිහිපයෙහි ප්‍රමුඛතාව ලබාදෙන්නේ පුරවැසියන් වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති සඳහායි. ඒ වෙනුවෙන් එළැඹෙන අයවැයෙන් වැඩි මුදලක් වෙන් කිරීමට අපි අපේක්ෂා කරනවා.
මේ ජන ප්‍රජාව මුහුණ දී තිබෙන චක්‍රීය දුගීභාවය පිළිබඳ ප්‍රශ්නයෙන් ගොඩ ඒමේදී අධ්‍යාපනය එක් ප්‍රධාන මෙවලමක් වෙනවා. අධ්‍යාපනය සහ දුප්පත්භාවය අතර විශාල සබඳතාවක් තිබෙනවා. ඒ නිසා ජනතාව දුගීභාවයෙන් මුදා ගැනීමේදී අධ්‍යාපනය වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා වතු ආශ්‍රිත පාසල්වල ඇති වී තිබෙන බිඳ වැටීම් අපි අධ්‍යයනය කර තිබෙනවා. සෑම දරුවෙකුටම තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි. ඒ වගේම මානසික නිදහස ඉතා වැදගත් වෙනවා. ජීවත්වීමට නිවසක්, ආදායම් මාර්ගයක්, හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, දරුවන්ට අධ්‍යාපනය, මානසික සුවය ඕනෑම පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් වෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරමින් සිටිනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. ධීවර, ජලජ සහ සාගර සම්පත් ආමත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයෝද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Saru FM Media