ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.
1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.
රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.
දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.
දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.
Saru FM Media