ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමු

0
2

සෑම වසරකම ඔක්තෝබර් මස 10 වන දින ලෝක මානසික සෞඛ්‍ය දිනය (World Mental Health Day) ලෙස ලොව පුරා සමරනු ලබන්නේ, සමාජයේ මානසික සෞඛ්‍ය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමටත්, මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා සහාය දැක්වීමටත්, මෙම විෂය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින අපකීර්තිමත් තත්ත්වය, සමාජයේ පිළිකුල ඉවත් කිරීමටත්ය.

මානසික සෞඛ්‍ය යනු හුදෙක් මානසික රෝගයක් නොමැතිවීම පමණක් නොවේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්වචනය කර ඇත්තේ, පුද්ගලයකුට තමන්ගේ හැකියාවන් අවබෝධ කර ගනිමින්, එදිනෙදා ජීවිතයේ ආතතීන් කළමනාකරණය කර ගනිමින් සහ ගැටලුවලට නිසියාකාරව මුහුණදෙමින් ඵලදායි ලෙස ජීවත් වීම ලෙස යි.

වර්තමාන ලෝකය වේගවත් සහ සංකීර්ණය. ගෝලීය වසංගත, ආර්ථික අර්බුදය, දේශගුණික විපර්යාස සහ තාක්ෂණික දියුණුව වැනි විවිධ සාධක මෙන් ම පෞද්ගලික ජීවිතයේ අභියෝග නිසා මිනිසාට පෙරට වඩා වැඩි ආතතියක් හා පීඩනයක් විඳීමට සිදුවී ඇත. මෙවැනි පරිසරයක මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය කරුණකි.

මානසික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍ය කෙරෙහිම බලපෑම් කරයි. මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය එකිනෙකට දැඩි ලෙස සම්බන්ධය. දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයන් හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ඇතිවීමේ අවදානම ද වැඩි කරයි. එසේම යහපත් මානසික සෞඛ්‍යයක් ඇති පුද්ගලයකුට තම රැකියාවේ, අධ්‍යාපනයේ හෝ පෞද්ගලික කටයුතුවල වඩාත් අවධානයෙන් හා ඵලදායීව කටයුතු කළ හැකියි. යහපත් මානසික සෞඛ්‍යය අපට අන් අය සමග වඩාත් හොඳින් සන්නිවේදනය කිරීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අර්ථවත් සබඳතා පවත්වා ගැනීමට උපකාරී වේ. ශක්තිමත් මානසික සෞඛ්‍යයක් සහිත සමාජයක් වඩාත් නම්‍යශීලී, සන්සුන් සහ දියුණු සමාජයක් බවට පත් වේ.

ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය (World Federation for Mental Health – WFMH) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2025 වර්ෂය සඳහා ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ,

“Access to Services – Mental Health in Catastrophes and Emergencies (සේවාවන් සඳහා ප්‍රවේශය – ආපදා සහ හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය) යන්නයි.

මෙම තේමාව මගින් යුද්ධ, ස්වාභාවික විපත් සහ සෞඛ්‍ය හදිසි අවස්ථාව වැනි මානුෂීය හදිසි අවස්ථාවන්හි දී පීඩාවට පත්වන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය, මනෝ සමාජීය අවශ්‍යතාවන් සඳහා සහාය වීමේ හදිසි අවස්ථාව පිළිබඳ අවධාරණය කරයි. ස්වාභාවික විපත්, ගැටුම් සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා වැනි අර්බුද චිත්තවේගීය පීඩාවන් ඇති කරන අතර, සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයකු මානසික සෞඛ්‍ය තත්ත්වයකට මුහුණ දෙයි. එවැනි අර්බුදවලදී පුද්ගලයින්ගේ මානසික යහපැවැත්මට සහාය වීමේ වැදගත්කම මෙම තේමාවෙන් ඉස්මතු කර දක්වයි.

මානසික සෞඛ්‍ය යනු, එක් දිනකට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය දෛනික පුරුද්දක් විය යුතුය. මෙම දිනයේ දී අප සෑම කෙනෙකුම මානසික සෞඛ්‍ය පිළිබඳව විවෘතව කතා කිරීමට, අන් අයගේ අත්දැකීම්වලට සංවේදී වීමට සහ මේ සඳහා උපකාර ලබා ගැනීම ලැජ්ජාවක් හෝ දුර්වලතාවක් නොවන බවට සමාජය දැනුවත් කිරීමට පෙළඹෙමු. එසේම හදිසි තත්ත්වයන්හිදී වුවද මානසික සෞඛ්‍ය අමතක නොකිරීමේ වැදගත්කම සහ ශරීර සෞඛ්‍ය රැක ගැනීමත් සමග මනස රැක ගැනීමත් අප සියලු දෙනාගේ වගකීම බව මතකයේ තබා ගනිමු. මානසික සෞඛ්‍ය සේවාවන් විශ්වීය මානව අයිතිවාසිකමක් බවට පත් කිරීමට අප එක්ව කටයුතු කරමු!

● ඩබ්ලිව්. දුලක්ෂි ප්‍රබෝධා ඩයස්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here