කාන්තාවකට ඇති වටිනාම තනතුර තමයි උත්තරීතර මව් පදවිය. ඒ තනතුරට සමාන කරන්න පුළුවන් වෙනත් කිසිම තනතුරක් මේ ලෝකේ ඇත්තෙ නෑ. අම්මා කියන තනතුරට දරන්න වෙන වගකීම් සම්භාරය වෙන කිසිම තනතුරක් දරන කෙනෙකුට තේරුම් ගන්න පවා අපහසුයි. ඒ වගේම මවකගේ අසමසම දරාගැනීමේ ශක්තිය, ඉවසීම, කැපවීම, ඒ සියල්ලත් සමඟම ඇගේ හදවතින් මතුවන උත්තරීතර ආදරය වෙන කිසිවෙකුගෙන් ලබාගන්න බැහැ. මව්පදවියට සුදුසුකම් ලබා දරුවෙකු කුස තුළ දරා සිටින ආදරණීය අම්මලාට ඒ ආදරයේ වටිනාකම සහ වාසනාවන්ත වත්කම දැනටමත් දැනෙන්නට පටන් අරන් ඇති.
දරුවන් කුස දරා සිටින එවැනි ආදරණීය අම්මාවරුන් හොඳින් ම අවධාරණයට ගන්න ඕනේ කරුණු කාරණා කිහිපයක් තමයි මේ.
මුල් මාස කිහිපය තුළ පුංචි කිරිකැටියා කුසට සපැමිණීමත් සමඟ ඔබට වරින් වර නොයෙක් අපහසුතා ඇතිවන්නට ඇති. හරියකට නින්ද යන්නෙ නැතිව, නිතර නිතර වමනය දමමින්, බඩේ දැවිල්ල, හිසේ බරගතිය, අත් පා පණ නැතිකම, නොසන්සුන්කම නිසා සමහරවිට ඔබ අධික ලෙස පීඩා විඳින්නටත් ඇති. මේ සියල්ල හරහා සොබාදහම ඔබේ ශක්තිය පරීක්ෂා කරනවා යැයි සිතන්න.
මවක් වීමට ඔබ ඇත්තටම සුදුසුකම් සපුරනවානම් සියලු වේදනාවන් උපේක්ෂාවෙන්, තමන්ගේ කුස තුළ සිටින ආදරණීය සිඟිත්තා ගැන දයානුකම්පාවටත් එහා ගිය අසීමිත ආදරයෙන් ඉවසන්න.
ඔබට ඉතා ආශාවෙන් ආහාරයට ගන්නට සිතුණු යමක් වුවත් එය නොලැබී තිබුණු අවස්ථාවේ ඇති වූ අධික උද්යෝගය තමන්ට ලැබුණු පසු නොමැති වෙන්නට පුළුවනි. සමහර විට ඔබ එය කිසිසේත්ම නොකා සිටින්නටත් ඉඩතිබෙනවා. මෙහෙම වෙලාවට ඔබේ ස්වාමිපුරුෂයාට, එහෙමත් නැත්නම් ඔබේ නෑ හිතවතුන්ට තරමක අමනාපයක් ඇතිවන්නටත් පුළුවනි. ඔබේ හිතිවිලි වල, ආශාවන්වල මේ කාලයේ දී පවත්නා වෙනස්වන සුළු ස්වභාවය ඔවුන්ට අවබෝධ කරදෙන්න. ඔවුන් සමඟ සතුටින් සැහැල්ලුවෙන් කාලය ගතකරන්න.
පුංචි කිරිකැටියා මෙලොව එළිය දකින දවස එනතුරු ඉවසිල්ලක් නැතිව සිහින මවන ඔබට බොහෝ දේවල් අමතක වෙන්නත් පුළුවනි. විශේෂයෙන් ම ගෙදර වගකීම් මඟහැරීයන්නටත් පුළුවනි. ස්වාමිපුරුෂයාගෙන් සහ ඔබේ මව්පියන් ඇතුළු නෑ හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය සහ අවධානය නිසා වෙනදා තරම් වෙහෙස වී ඒ වගකීම් කරමතට නොගත්තත් ඔබ සම්පූර්ණයෙන්ම ඒ කටයුතු මඟහැර දමන්නට එපා. එහෙමවුණොත් සිඟිත්තාගේ පැමිණීමෙන් පසු ගෘහ ජීවිතයේ වගකීම් දරන්නට හැකියාව ඔබෙන් මඟහැරී යාවි.
නියමිත ශරීර බර සහ නිරෝගීභාවය පවත්වාගනිමින්, අවශ්‍ය පෝෂණ වටිනාකම් ශරීරයට ලබාදෙන්න. දරුවාගේ වර්ධනයේ වගකීම අමතක කරන්න එපා. නියමිත ස්කෑන් පරීක්ෂණ, නියමිත විටමින් සහ ඖෂධ නිසියාකාරව භාවිත කරන්න. වෛද්‍ය උපදෙස් වගේම අත්දැකීම් සම්භාරයක් ඇසුරින් ඔබේ වැඩිහිටියන් ලබාදෙන උපදෙස් ගැනත් සැලකිලිමත් වෙන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ ඔබේ සිඟිත්තාට යහපත් උපතක් ලබාදීමයි.
මනස සංයමයට පත්කරන සංගීත නාද, භාවනා වැඩසටහන්, පිරිත්, නිවැරදි යෝග අභ්‍යාස, වැඩි වැඩියෙන් භාවිත කරන්න. ඔබේ දරුවාගේ මනස නිරෝගීව වැඩෙන්නට ඒ සියල්ල ඔබට උදව් වේවි. ඔබ රැකියාවක් කරන මවක්නම්, එසේත් නැත්නම් ඔබේ ව්‍යාපාරික කටයුතු සමඟ කාර්යබහුලව කාලය ගත කරන මවක් නම්, එසේත් නැත්නම් දැනටමත් දරුවන් සිටින මවක් නම් සමහරවිට ඔබට මේ වෙනුවෙන් වෙන් කරන්නට කාලය නැතැයි ඔබට හිතේවි. ඒත් ඒක නිවැරදි උත්තරයක් නොවෙයි. ඔබ ඒ සඳහා කාලය සකස් කරගන්න.
දරුවා උපන් පසු නිවස සකස් විය යුතු අයුරු, දරුවාගේ උපත වෙනුවෙන් නිවස සූදානම් කරන අයුරු, ඔබ රෝහල්ගත වීමේ දී ඒ වෙනුවෙන් පිළියෙළ විය යුතු අයුරු, අවශ්‍ය ඇඳුම් සහ වෙනත් උපකරණ, ආදිය සම්බන්ධව ඔබේ ස්වාමිපුරුෂයා සමඟ එක්ව සැලසුම් සකස් කර තබාගන්න.
ඔබ ප්‍රථම වරට මවක් වන්නට සූදානම් වන කෙනෙක් නම්, දරුවකු බිහිකිරීමේ දී මවක් විඳින වේදනාව, ඇය සතු අපරිමිත චිත්ත ශක්තිය ගැන යම් පමණක අවබෝධයක් ඇතිකරගන්න. ඒ සඳහා ඔබ අනවශ්‍ය බියක් හෝ කලබලයක් හෝ අසාමාන්‍ය කැළඹීමක් ඇතිකරගැනීමට වඩා එම අවස්ථාවෙහි ඇති වගකීම්සහගතබව සහ ඒ සඳහා ඉවසිලිවන්තවිය යුතු ආකාරය ගැන එවිට ඔබේ මනස කල් තියා සූදානම් වේවි.
මුලුමහත් විශ්වයට ම සම්පතක් වන හොඳම දරුවා ඔබේ කුසින් බිහිකරමින් ලෝකයේ හොඳම මව වන්නට අධිෂ්ඨාන කරගන්න.
– නිරංජලා –
Saru FM Media