ලොව දීර්ඝතම කාලයකට පසු දික්කසාද වූ යුවල 

0
12


කසාදය වගේම දික්කසාදය ගැනත් ඔයා හොඳටම අහලා ඇති. ඒ වචන දෙකේ වෙනස ගැනත් හොඳටම දැනුවත් ඇති. කසාද  බැඳලා දවසෙන් දෙකෙන්, සතියෙන් දෙකෙන්, මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වුණ කට්ටිය ගැන අහලත් ඇති. සමහරවිට වට  පිටාවේ එහෙම අත්දැකීම් පවා ඇති. හැබැයි අද අපි මේ ඔයාට කියන්න යන කතාව නම් මීට කලින් අහලා නැතුව ඇති. ඇත්තටම විශ්වාසේ බිඳිලා ගියාම ලෝකේ මෙහෙම දේවලුත් වෙනවා නේද කියලා නම් ඔයාට අනිවාර්යයෙන්ම හිතේවි.

ඇන්ටෝනියෝ ආර් සහ රෝසා කියන යුවල 1944 අවුරුද්දේදී විවාහ වෙන්නේ ඉතාලියේ තිබුණු ග්‍රාමීය දේවස්ථානයක. ඒ එකිනෙකා වෙනුවෙන් ජීවිත කාලය පුරාම අවංකව, විශ්වසනීයව සහ ආදරයෙන් ඉන්න බවට පොරොන්දු වෙලා. ඒ වගේම ජීවිතේ දුක  සතුට එන හැම වෙලාවකම ළඟින් ඉන්න පොරොන්දු වෙලා. ඒ පොරොන්දු වුණා වගේම ඇන්ටෝනියෝ සහ රෝසා එකිනෙකාව රැක බලා ගනිමින්, එකිනෙකාගේ ප්‍රශ්න වලටෞපකාර කර ගනිමින් එක වහලක් යට සතුටින් ජීවත් වුණා.

2021 අවුරුද්දේ නත්තල වෙනුවෙන් ඇන්ටෝනියෝ හිටියෙර් හරි උනන්දුවෙන්. එවකට වයස  අවුරුදු 99 ක් වුනත්, ඇන්ටෝනියෝ තනියෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තරමේ ශරීර සෞඛ්‍යයක් එක්ක හිටියා. ඒ හින්දාම එලැඹෙන නත්තල වෙනුවෙන් ගෙදර අස් කරගන්න ඇන්ටෝනියෝ දෙපාරක් හිතුවේ නැහැ. භාවිතා නොකරපු කාමරේක තිබුණු අල්මාරියක් අස් කරලා දාලා ඒ අල්මාරිය විකුණන්න ඕනි කියලා ඇන්ටෝනියෝ ට හිතුණේ එහෙම අස් කරමින් ඉන්න අතරේ. ඇන්ටෝනියෝ අල්මාරියේ තිබුණ දේවල් එකින් එක එලියට ඇදලා දැම්මා. අල්මාරියේ තිබුණ රහස් ලාච්චුවක තිබුණ අතිශය දුර්වර්ණ වුන කොළ කිහිපයක් ඇන්ටෝනියෝ ගේ අතට අහු වුණේ ඊට පස්සේ. කණ්ණාඩි දෙකත් ඇස් වලට හරියට දාගෙන ඇන්ටෝනියෝ එළිය වැඩිපුරම තිබුණ ජනේලයක් ළඟට කිට්ටු වෙලා ඒ කඩදාසි එකින් එක දිග හැරියා. නත්තලේ සතුට කුඩුපට්ටම් වෙලා ගියා. ඇන්ටෝනියෝ ඉතාම වේදනාවෙන් අසල තිබුණ පුටුවක ඉඳ ගත්තා.

ඒ ලියුම් වල තිබුණේ මීට අවුරුදු හැටකට කලින්, එහෙම නැත්නම්  දශක හයකට කලින් රෝසා විසින් රහස් සම්බන්ධතාවක් ගෙනියපු කෙනෙක් ඇයට ලීව ලිපි. එතන ලියුම් කිහිපයක්ම තිබුණා. ඒ ලිපි වල තිබුණ විදියට රෝසාත්  ඇයට පිළිතුරු ලිපි පවා ලියලා තියෙන බව වටහා ගන්නකොට ඇන්ටෝනියෝ ගේ හදවත කැබැලි වෙන බව දැනුණා. ඇන්ටෝනියෝ හැම ලියුමක්ම කියෙව්වා. රෝසා තමා සමඟ ආදරයෙන්, විශ්වාසයෙන් සිටින බව පෙන්වපු දවස් වල ඇගේ හිත වෙනත් පිරිමියෙකු වෙනුවෙන් උන්මාදයෙන් උතුරලා තියෙන විදිය ඔහු ඒ ලියුම් වලින් මවා ගත්තා.

ඇන්ටෝනියෝ කරමින් උන්න දේ නවත්තලා දැම්මා. නත්තල් ගැන තිබුණ උත්සවශ්‍රීය හිතෙන් වියැකිලා ගියා. ඇන්ටෝනියෝ ගේ මේ වෙනස දැකපු රෝසා ඔහු ළඟින් ඉඳගෙන ඒ ගැන හේතු විමසුවත්, ඇන්ටෝනියෝ ඇයට පිළිතුරු දුන්නේ නැහැ. පහුවෙනිදා ඔහු නීතිඥවරයෙක් මුණ ගැහුණා. සිදුවෙලා තියෙන දේ ඔහු සමඟ කිව්වා. වයසක මිනිසාගේ බිඳුණ හඩවතේ වේදනාව ඒ නීතිඥ මහත්මයා අහගෙන හිටියා. අවසානේදි ඇන්ටෝනියෝ කියපු දෙය නම් නීතිඥ මහත්මයා වත් හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.

“අපි විශ්වසනීයව ඉන්න පොරොන්දු වුණා. ඒත් ඇය මගේ විශ්වාසය බිඳලා… සමහරවිට ඇය තවම ඔහුට ආදරේ කරනවා ඇති. හැම තත්පරයකම මගේ විශ්වාසය බිඳිනවා ඇති. නීතිඥ මහත්තයෝ .. මට ඇගෙන් වෙන් වෙන්න අවශ්‍යයි .. දික්කසාද වෙන්න අවශ්‍ය ලිපි දැන්වීම් ඇයට යවන්න …”

නීතිඥ මහත්මයා ඇන්ටෝනියෝ ට පැහැදිලි කරන්න උත්සාහ කලා ඒ මීට අවුරුදු හැටකට එහා ඈත අතීතෙක සිදුවීමක් බව. ඇතැම්විට දැන් රෝසාගේ පෙම්වතාය කියන තැනැත්තා ජීවතුන් අතර පවා නැති විය හැකි බව. 

ඒත් බිඳුණු හදවතක් තිබුණ ඇන්ටෝනියෝ ට ආපහු හැරෙන්න අවශ්‍ය වුණේ නැහැ.

දික්කසාදයක් සඳහා වන දැන්වීම් ලිපි රෝසාගේ අතට ලැබුණම රෝසාට ඒ කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා. ඇය ඇන්ටෝනියෝ ලඟට ගිහින් ඒ ලිපි වල තේරුම පැහැදිලි කරගන්න උත්සාහ කලා. ඇන්ටෝනියෝ නිහඬවම ඔහුට දික් කලේ ඇය ඇගේ පෙම්වතාට මීට අවුරුදු හැටකට කලින් ලිව්ව ලිපි. රෝසා විමතියෙන් ඇන්ටෝනියෝ දිහා බැලුවා.

“ඒක ඉතාම පරණ කතාවක්. දැන් ඔහු කොහේක ඉන්නවාද කියලාවත් මම දන්නේ නැහැ. ඒ නිසා මෙහෙම හදිසි වෙන්න ඕනි නැහැ. අපි කතා කරමු .. මට ඔයාගෙන් වෙන් වෙන්න ඕනි නැහැ…”

එවකට 96 වැනි වියේ උන්න කාන්තාව ඇගේ හැත්තෑ හත් වසරක කසාද ජීවිතය වෙනුවෙන් පැහැදිලි කිරීම් දෙන්න උත්සාහ කලා. ඒත් ඇන්ටෝනියෝ ට ඒ කිසිම දෙයකින් වැඩක් වුණේ නැහැ. ඔහු තීරණය වෙනස් කලේම නැහැ.

අන්තිමේදි විශ්වාසය බිඳ හෙලීම යටතේ ඇන්ටෝනියෝ රෝසාට එරෙහිව දික්කසාද නඩු ගොනු කලා. උසාවියට ඉදිරිපත් කරන්න ලියුම් සාක්ෂි තිබුණා. ඒ නිසාම ඉතාම ඉක්මනින් දෙන්නාට කසාදය නිම කරන්නට ඉඩ ලැබුණා.

බිඳුණු හඩවත් එක්ක දෙන්නම උසාවියෙන් එලියට ඇවිල්ලා දෙපැත්තට වෙලා ගියා.

කසාද වගේම දික්කසාද ගැනත් ලෝකය පුරා කතා බස් ඇති වෙනවා වුනත් , ඇන්ටෝනියෝ සහ රෝසාගේ දික්කසාද ය වෙනත්ම මුහුණුවරකින් කතා බහට ලක් වුණා. විශ්වාසය බිඳින ගැහැණු , පිරිමින්ගේ හැසිරීම් ගැන වඩා වැඩි කතාබහක් ඇති වුණා. විශ්වාසය බිඳිලා ගියහම අන්තිම මොහොතේ හරි අතෑරලා දාන සැනසිම ගැන මිනිස්සු සෑහෙන්නම අදහස් පල කලා.

අද කාලෙත් අනියම් සම්බන්ධතා ගැන නිතරම අහන්න ලැබෙම බව ඔයා දන්නවානේ. තමන් ඉන්න සම්බන්ධතාවය ට අවංක නොවී ඉන්න තාක් කල් කවදාහරි දවසට  හිත බිඳිල යන තීරණයක දරාගැනීමත් කරගන්න වෙන බව මතක තියාගන්න එක තමයි ඇන්ටෝනියෝ සහ රෝසා අපිට කියල දෙන පාඩම.

| අපේක්ෂා ගුණරත්න |



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here