Wednesday, May 21, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ‘ලොකු පැටී’ බෙලරූස් සිට ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වයි

‘ලොකු පැටී’ බෙලරූස් සිට ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වයි

0
10


loku-patty-arrested

බෙලරූස් රාජ්‍යයේ සිට පලාගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රකට පාතාලයකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’ නැමැත්තා අද (14) උදෑසන ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ඇත.

මෙම සැකකරු පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයකින් අද (04) උදෑසන 7.43ට පමණ ඩුබායි හරහා මෙරටට රැගෙන ආ බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.

‘ලොකු පැටී’ සැලකෙන්නේ 2024 ජූලි 08 වැනි දින අතුරුගිරියේ පච්චකොටා සාප්පුවකදී වෙඩි තබා ඝාතනය කරන ලද ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසය. මෙම ඝාතනය මෙහෙයවීම සහ එයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.


පසුබිම් තොරතුරු – 2018 වාර්තාව

මීට වසර 7 කට පෙර 2018 වසරේ පොළොන්නරුව මැදිරිගිරියේ අතිදුෂ්කර කැලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට 27 හැවිරිදි වියේ පසුවූ සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ‘අහුන්ගල්ලේ ලොකු පැටී’ ය. අලුත්ගම ධර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු මහරගමදී රංගජීව අපරාධ පරීක්ෂණ නිලධාරීයා ගමන් කරමින් සිටියදී පොලිසියට වෙඩි තැබූ මෝටර් සයිකලය පදවාගෙන ආ තැනැත්තා බව පොලිසියට පවසා තිබිණි.

ඔහුගේ පාපොච්චාරණය අනුව, වෙඩි තැබීම සිදු කළේ අසිත නොයෙල් කුමාර හෙවත් ‘ආමි අසිත’ බවත්, ඔහු ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වූ මොහොමඩ් නවාස් සමඟ කල්පිටියේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය බවත් හෙළි විය.

මොහොමඩ් නවාස් යනු පොලිසිය නොමග යවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පොලිසිය අපරාධ ස්ථානයට ගෙන්වාගත් පුද්ගලයායි. මෙම තිදෙනාට ප්‍රහාරය සිදු කිරීමට උපදෙස් ලබා දුන්නේ පාතාල නායක කඹුරුපිටියේ මධුෂ් බවත්, මධුෂ් එවකට ඩුබායි හි සැඟවී සිටි බවත් ලොකු පැටී හෙළි කර තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වැනි පාබල රෙජිමේන්තුවේ වසර දෙකක පමණ කාලයක් සේවය කර ඉන් ඉවත් වූ ලොකු පැටී, පසුව පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම්වල නිරත වී තිබිණි. ඔහුගේ රැකියාව වූයේ මධුෂ් ඩුබායි සිට එවන මත්ද්‍රව්‍ය බද්දේගම සහ ඒ අවට තරුණයින් අතර බෙදා හැරීමයි.


පිළියන්දල පොලිස් ප්‍රහාරය පිළිබඳ පාපොච්චාරණය

මීට වසර 7 කට පෙර පිළියන්දල පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ලොකු පැටී පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබුණේ, ඔහු එම ප්‍රහාරයට යන තෙක් එය පොලිස් නිලධාරීන් ඉලක්ක කර සිදු කරන ප්‍රහාරයක් බව නොදැන සිටි බවයි.

“මධුෂ් එදා ඩුබායි වල ඉඳන් දිගටම කතා කළා. මට කෙනෙක් බයිසිකලයක් ගෙනැල්ලා දෙනවා, මට එතැනට යන්න කිව්වා. මං ගියා. ඒ කිව්ව විදිහටම බයිසිකලේ අරන් කෙනෙක් ආවා. ඒ එක්කම ආයුධ සන්නද්ධව ආමි අසිතත් බයිසිකලේට නැග්ගා. අපට යන්න ඕන තැන දැනුවත් කරනවා කිව්වා. ටිකකින් කතා කරලා කිව්වා පිළියන්දලට දැන් යන්න කියලා. තවත් ටිකකින් රංගජීවලාගේ අල්ටෝ එක නවත්තලා තියෙන්නේ මහජන බැංකුව ගාව කියලා එතැනට යන්න කිව්වා. මං කිව්ව විදිහටම ගියා. වෙඩි තැබීමට ඉලක්කය වුණේ රංගජීව. ආමි අසිත වෙඩි තැබීම කළා. පස්සේ අපි පැනලා ගියා,” ඔහු පවසා තිබිණි.

මෙම ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයකු සහ දොළොස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වූ අතර, රංගජීව නම් ප්‍රධාන පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලැබීය.

අධිකරණය හමුවේ පෙනී සිටින නඩු

මෙම සැකකරුට එරෙහිව පහත සඳහන් නඩු අධිකරණවල විභාග වෙමින් පවතී:

  1. 2016 මැයි 21 වැනි දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23ක්
    සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවකි.

  2. 2017 මැයි 09 වැනි දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය
    හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව
    මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකි.

  3. 2017 ජූනි 15 වැනි දින හෙරොයින් ග්‍රෑම් 299ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවකි.

  4. 2021 ඔක්තෝබර් 08 වැනි දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක
    නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ
    තබාගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකි.

විදේශගතව සිටියදී මෙහෙයවා ඇති අපරාධ

මෙම සැකකරු විදේශගතව සිටියදී පහත සඳහන් අපරාධ මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත:

  • 2022 අගෝස්තු 24 වැනි දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.

  • 2022 සැප්තැම්බර් 23 වැනි දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

  • 2022 ඔක්තෝබර් 12 වැනි දින අහුංගල්ල පොලිස් වසමේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.

  • 2024 ජනවාරි 18 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු
    ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
    ගැනීම.

  • 2024 ජූලි 08 වැනි දින අතුරුගිරිය පොලිස් වසමේදී ටී-56 වර්ගයේ ගිනි
    අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු
    කිරීම.


වර්තමාන තත්ත්වය

පසුගිය අගෝස්තු මාසයේ දී බෙලරූස් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් ‘ලොකු පැටී’ මෙරටට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබිණි. විශේෂයෙන්ම ‘ක්ලබ් වසන්ත’ ඝාතනය මෙහෙයවීම සහ එයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තදබල සාක්ෂි පවතින බව පොලිස් සූත්‍රයෝ පවසති.

දැනට මෙරටට රැගෙන එන ලද ‘ලොකු පැටී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ සිටින අතර, ඔහුට එරෙහිව පවතින විවිධ නඩු සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මර්දනයට මෙම අත්අඩංගුවට ගැනීම තවත් ශක්තියක් එක් කරනු ඇතැයි බලධාරීහු විශ්වාස කරති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here