2025 ඔක්තෝබර් මස 12 වැනිදා ඉරිදා
බැකෝ සමන් හෙවත් ජේ.සී.බී. සමන්ගේ බිරිඳගේ ගිණුම්වල රුපියල් ලක්‍ෂ නවසීයක ගනුදෙනු සිදුවී ඇතැයි දැනගන්නට තිබේ. සමන්ගේ බිරිඳ ජීවිතේටම කිසිම රැකියාවක් කළ කෙනෙක් නොවන බව අපගේ වැටහීම ය. එසේ නම් ඇය රුපියල් ලක්‍ෂ නවසීයක ගනුදෙනු කළේ කෙසේද යන්න ඉතාම සැකකටයුතු ප්‍රශ්නයකි. සමන්ගේ බිරිඳගේ නැගණියගේ ගිණුමෙහි ද රුපියල් කෝටි දෙකක් හෝ තුනක් ඇති බව පසුගියදා හෙළිවිය. එසේම සමන්ගේ බිරිඳගේ පියාගේ ගිණුමෙහි ද රුපියල් ලක්‍ෂ එකසිය විසිහයක් තිබූ බව අනාවරණය විය. එම පුද්ගලයා රස්සාවට කළේ ගඩොල් කැපීම ය. ඒ අනුව මෙපමණ මුදලක් උපයා ගැනීමට නම් එම පුද්ගලයා කැපූ ගඩොල් රත්තරන් ගඩොල් වීමට ඉඩ තිබේ. මෙබඳු දුර්ලභ අවස්ථා ගැන ලෝක ඉතිහාසයේ ඇත. රත්තරන් බිත්තර දැමූ කිකිළියන් සහ පාත්තයන් පිළිබඳ කතන්දර ජනවහරෙහි එයි. ඒ නිසා බැකෝ සමන්ගේ මාමණ්ඩිය රත්තරන් ගඩොල් කැපීම ගැන අප සැක පහළ නොකළ යුතු ය.
එහෙත් යථාර්ථය දෙස බැලීමේ දී පෙනී යන්නේ මේ බැංකු ගිණුම්වල හුවමාරු වූ මුදල් සියල්ලම කළු සල්ලි බව ය. මෙබඳු කළු සල්ලිකාරයෝ විශාල පිරිසක් මේ රටේ සිටිති. සමහර විට මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමින් 25% ක පමණ ප්‍රමාණයක් මේ කියන කළු සල්ලිකාරයන් අතපත ගානවා විය හැකි ය. කළු සල්ලි යනු හොරට උපයන මුදල් පමණක්ම නොවේ. නොගෙවන ලද ආදායම් බදු, නොගෙවන ලද බැංකු ණය යනාදිය ද අවසන් ඵලයේ දී කළු සල්ලි ගිණුමට බැර කළ හැකි ය. ශ්‍රී ලංකාව තුළ පාර ආර්ථිකයක් හෙවත් Deep State එකක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක අවස්ථා කිහිපයකදීම පැවැසීය. මෙය භූතානය වැනි රටක් හැරුණු විට ලෝකයේ තිබෙන සියලුම රටවල ස්වභාවය වේ. උදාහරණයක් වශයෙන් ආසියාවට අයත් ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටෙහි කළු සල්ලි ආර්ථිකය ඉතා බලවත් ය. එය කොපමණ බලවත් ද යත් හදිසි අවස්ථාවක දී අවුරුදු දෙක, තුනක් ඒ රටවල් නඩත්තු කරගෙන යෑමට තරම් ඒ කළු සල්ලි ප්‍රමාණවත් ය. එහෙත් සමාජ සේවය සඳහා කිසිම කෙනෙක් කළු සල්ලි එළියට අදින්නේ නැත. ඔවුන් ඒවා එළියට අදින්නේ තම තමන්ගේ සුඛවිහරණයටත්, තම තමන්ගේ ජාවාරම් දියුණු කර
ගැනීමටත් පමණි.
කළු සල්ලි යනු මර්දනය කිරීමට නොහැකි බලවේගයකි. ලෙනින්ගේ සමාජවාදී රුසියාව තුළ පවා පසුකාලයේ දී කළු සල්ලි පැටවු ගසන්නට විය. දැඩි මතධාරී මාවෝ සේතුංගේ චීනයෙහි පවා අතිවිශාල කළු සල්ලියක් තිබේ. එමතු ද නොව කොමියුනිස්ට් කොරියාවේ ද කළු සල්ලි ඇත. මෙහි එක්තරා වෙනසක් තිබේ. වෙනත් රටවල කළු සල්ලි පාවිච්චි කරන්නේ ඒ රටේ ජාවාරම්කරුවන් ය. කොමියුනිස්ට් කොරියාවේ කළු සල්ලි පාවිච්චි කරන්නේ ඒ රටේ සිටින ධනවත් දේශපාලනඥයන් ය. මෙය ඒ රටේ රාජ්‍ය නායකයා සමග එකට සෙට් වී යන ගේමකි.
ශ්‍රී ලංකාවේ කළු සල්ලි ආර්ථිකය ගැන කුඩාම උදාහරණයක් කියමු. ඒ වූ කලී වැලිකඩ හිරගෙදරයි. වැලිකඩ හිරගෙදර තුළ වෙනම ආර්ථිකයක් ඇත. මේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් නොව බයින් ඇන්ඩ් සෙලින් ආර්ථිකයකි. උදාහරණයක් වශයෙන් පිටස්තර ලෝකයෙන් ලබාගත හැකි බොහෝ දේවල් වැලිකඩ හිරගෙදර තුළ තිබේ. ඒවා ඇතුළට එන්නේ ඇතැම් ජේලර්වරුන් හරහා ය. එබැවින් ඔවුහු ද ඒ කළු සල්ලි ආර්ථිකයේ කොටස්කරුවෝ ය. වෙළෙඳපොළේ තිබෙන බීඩි, සිගරට්, අරක්කු, බුලත්විට, කසිප්පු, කුඩු, අවිආයුධ යන සියලුම දේ වැලිකඩ හිරගෙදර තුළ ඇත. එහෙත් පිටස්තර වෙළෙඳපොළේ මිලට වඩා ඒවායේ මිල ඉතා ඉහළ ය. වැලිකඩ හිරගෙදර බීඩියක මිල රුපියල් 200කි. සිගරට් එකක් රුපියල් 500 සිට 1000 දක්වා විවිධ මිලට විකුණනු ලැබේ. එසේම බුලත් විටක් රුපියල් 500 කි. අරක්කු බෝතලයක් රුපියල් 25,000 කි.
එහෙත් හිරගෙදර තුළ සිටින ධනවත් සිරකරුවෝ අරක්කු නොබොති. ඔවුන් පානය කරන්නේ විස්කි ය. අරක්කු බෝතලයක් රුපියල් 25,000ක් නම් හිරගෙදර තුළදී විස්කි බෝතලයක මිල රුපියල් ලක්‍ෂය ඉක්මවනවා ඇත. කොහොමටත් බ්ලැක් ලේබල් විස්කි බෝතලයක් වයින් ස්ටෝර්ස් එකෙන් ගන්නා විට රුපියල් 20,000 කට වැඩි මිලක් වේ. එසේ නම් බ්ලැක් ලේබල් බෝතලයක හිරගෙදර මිල රුපියල් ලක්‍ෂය ඉක්මවීම ඉතා සාධාරණ ය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදයේ දේශපාලන මුහුණුවර ය. මේ දේශපාලන මුහුණුවර තුළ කළු සල්ලි ආර්ථිකය වළක්වාලීම කිසිසේත්ම කළ නොහැකි ය. කළු සල්ලි රුපියල්වලින් මෙන්ම විදේශ මුදල්වලින් ද තිබේ. මේවා බැංකුවලට කැඳවා ගැනීමට ආණ්ඩුව කිසියම් පියවරක් අනුගමනය කළ යුතු ය. ලොකුම ප්‍රශ්නය වන්නේ මේ කළු සල්ලිවලින් වැඩිහරියක ලේ තැවරී තිබීම ය. ඒ නිසා එම සල්ලි ජාතික ආර්ථිකයට කැඳවා ගත්තොත් ජාතික ආර්ථිකය මත ද ලේ පැල්ලම් හටගැනීමට ඉඩ ඇත.
Saru FM Media