ලාෆ් සමූහයේ අධිපතිතුමාගේ ආදරණීය බිරිඳ දයානි වෑගපිටිය මහත්මිය සමඟ “Chat with Smartlady.”

0
11


ඇය කාර්යබහුල සැමියෙකුගේ ආදරණීය බිරිඳක් , ඒ විතරක් නෙමෙයි තමන්ගේ වෘත්තීයේ නියැලෙන ගමන් පවුලේ කටයුතුත් සමබරව කරගෙන ගිය ආදරණීය මවක්.

ඇය ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව් .කේ.එච් වෑගපිටිය මහතාගේ ආදරණීය බිරිඳ දයානි වෑගපිටිය මහත්මිය.

මම ඉපදුණේ ගාල්ලේ අහංගම කියන ගමේ.නම දෙනෙක්ගෙන් යුත් පවුලක මම තමයි බාලයා.අයියලා පස් දෙනෙක් සහ අක්කලා තුන් දෙනෙක් මට ඉන්නවා.ඉගෙන ගත්තේ ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාමයේ.එකේ ඉඳලා දොලහ වසර වෙනකන් ඒ පාසලේ ඉගෙන ගත්තා.අපේ අම්මා ගැන මං කැමතියි මතක් කරන්න.මට අවුරුදු දෙකේදි මගේ තාත්තා නැති උනේ හදිස්සියෙ.එතකොට අම්මට ළමයි නම දෙනෙක් එක්ක තමයි ජීවිතේ පටන් ගන්න වුණේ.ඇය ඉතා තරුණයි.අවුරුදු 35 යි එතකොට.තාත්තාගෙන් නොලැබුණු ආදරෙත් ලබා දීලා ඇය ඉතා ආදරෙන් අපිව බලාගත්තා.

මම ඉගෙනීමට ඉතාමත් දක්ශ ශිෂ්‍යාවක් නෙමෙයි.නමුත් මම ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ හැමදෙයක්ම කළා.මගේ උත්සාහය නිසා දෙවන වර උසස් පෙළ සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුල් වුණා.එහිදී තමයි මට මගෙ සැමියව මුණ ගැහුනේ.මුලින්ම විශ්ව විද්‍යාලයට පය තබපු ගමන්ම දැක්කේ ඔහුව තමයි.

ඇත්තටම එහෙමත් නෙමෙයි.මම දැනන් හිටියේ නෑ එහෙම එකක්.ඔහු ඇවිල්ලා මාව හමුවෙලා මාසයක් වගේ අපි යාලුවන් වගේ ආශ්‍රය කලා.පසුව ඒක ආදර සම්බන්ධයක් බවට පෙරලුණා.

ප්‍රේම සම්බන්ධයෙන් පස්සෙ මම හිතුවා ගෙදරට ඇත්ත කියන්න ඕන කියලා.මොකද ගෙදරින් මාව එච්චරට විශ්වාස කරගෙන හිටපු නිසා මම ගෙදරට ඇත්ත කිව්ව.එතනදි වැඩේ වැරදුණා.අම්මා තදින්ම විරුද්ධ උනා ,සහෝදර සහෝදරියන්ගේ තර්ජන නිසා මට තාවකාලිකව නවත්තන්න උනා විශ්ව විද්‍යාල ගමන.ඊට පස්සෙ මම පොරොන්දු උනා සම්බන්ධය නවත්තනව කියලා.එතකොට මගෙ සැමියා විශ්ව විද්‍යාල කටයුතු අවසන් කරලා රැකියාවක් කරනවා.ඒ අතරේ අපේ සම්බන්ධය දිගටම තිබුණා.මගෙ හතරවෙනි අවුරුද්ද ඉවර වෙලා මට ප්‍රථම රැකියාව හම්බුනා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර පර්යේෂක විදියට.එතකොට සම්බන්ධයට අවුරුදු පහක් විතර වෙලා.ගෙදරින් බේරෙන්න බෑ විවාහ යෝජනා ගේනවා.අන්තිමට මම ඇත්ත කිව්වා මට මේක තමයි කරන්න ඕන කියලා.කොහොමහරි වසර හතක් විතර සම්බන්ධය තිබ්බා.ඔහු මුලින්ම යාලුවෝ දෙන්නෙකුයි යාලුවගෙ දෙමව්පියන් එක්කයි ආවේ අපේ ගෙදර .ඊට පස්සෙ කතා කරලා ආශිර්වාද ලබාගෙන අපි විවාහ වුණා 1989 වර්ශයේදි.

ඇත්තටම සැලසුම් කරන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ අපි විවාහ වෙනකොට. මුහුදට බැහැලා තමයි අපි ගැඹුර බලන්න පටන් ගත්තේ. ඔහු එතකොට නැව් සංස්ථාවෙ වැඩ කලේ.ඔහුටත් මටත් ඉතා සුලු පඩියක් ලැබුණේ.හැබැයි අපි ජීවිතේ හොඳට පටන් ගන්න හිතාගෙන අපි මිරිහානෙ ඉතාම සුන්දර පරිසරයක වෙලක් මැද්දේ පිහිටි කුඩා නිවසක් කුලියට ගත්තා.අපි එතන ජීවිතේ පටන් අරගෙන පොඩියට ප්ලෑන් කලා පඩිය බෙදලා ඔහුගේ දෙමව්පියන්ට පොඩි ගාණක්, ගෑස් සඳහා වෙනම මුදලක් වගේ. තාමත් ගෑස් ගන්නේ සල්ලි වලට තමයි අපි.අයවැයක් හදාගෙන තමයි වැඩේ පටන් ගත්තේ.

වෙන්නත් ඇති.සමහරවිට අම්මගෙන් ලැබුණු අත්දැකීමත් වෙන්න ඇති.ඊට පස්සෙ එහෙම පටන් ගත්ත ජීවිතේ ලොකු ප්ලෑන් එකක් තිබ්බෙ නෑ.එතකොට අපිට වාහනයක් වත් තිබුනේ නෑ.ඔහුට තිබුනා බයිසිකලයක්.ඒකේ තමයි අපි වැඩට යන්නේ.උදේට නැගිටලා උයාගෙන .එහෙම තමයි ජීවිතේ ආරම්භ කළේ.

ඒ මිරිහානෙ ගෙදර ඉන්නකොට අපිට අපේ ලොකු පුතා මිතිල හම්බුනා.මං හිතන්නෙ එයා තමයි අපිට වාසනාවත් අරගෙන ආවේ.ඉතාමත් සුන්දරයි අතීතය.අපනයන සංවර්ධන මණ්ඩලයෙන් අපිට හවුසින් ලෝන් එකක් දුන්නා.ඒකෙන් අපි තලපත්පිටියෙන් ඉඩම් කෑල්ලක් අරගත්තා.ඊට පස්සෙ මගෙ සැමියා කිව්ව වෙනම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතියි කියලා.ඊට පස්සෙ ඔහු ඔහුගේ නමින් ආයතනයක් පටන් ගත්තා.මං කියන්න කැමතියි සාර්ථකත්වය කියන්නෙ කැපවීමමයි.සමහරු කියනව වාසනාව කියලා .වාසනාව නෙමෙයි කැපකිරීම ම තමයි මේ ගමනට බලපෑවේ.

ඒ හැමදේටම ඇත්තටම මම පසුපසින් ඉඳලා ශක්තියක් උනා,පුලුවන් විදියට ගුරුහරුකම් දුන්නා.ඔහුටත් දැක්මක් තිබුනා.ඔහුට හීනයක් තිබුනා මටත් වැඩිය. ඉතින් ඒ කරා යන්න මගෙන් ඉතාම සහයෝගයක් ලැබුනා.ව්‍යාපාරය පටන් ගන්නකොට දැන් වගේ කේටරින් සර්විස් තිබුණේ නෑ.නැකතට ගෙනියන්න කිරිබත පවා හැදුණේ අපේ ගෙදරින්.එහෙම තමයි ඒ දේවල් පටන් ගත්තේ.

ඇත්තටම මේ මොහොතේ නම් මට පොඩ්ඩක් වත් කාර්යබහුල නෑ විවේක සුවයෙන් ඉන්නවා.නමුත් ඒ කාලෙදි හරිම කාර්යබහුලයි.ලස්සන ගෙයක් හැදුවා අපි තලපත්පිටියේ.ව්‍යාපාරත් සාර්ථක වෙන්න පටන් අරන්.දෙවනි පුතා ලකිතත් තුන්වෙනි පුතා දසිතත් හම්බුනා.ඊට පස්සෙ සම්පූර්ණ පවුලක්.ඒ වෙනකොට මමත් රැකියාව කරනවා.එතකොටත් මම පොඩි මට්ටමක තමයි හිටියේ. ඉතින් මගෙ අම්මායි සැමියගේ අක්කා කෙනෙකුයි ගොඩක් සහය උනා දරුවෝ බලාගන්න.හැබැයි ලොකු වගකීමක් සහ කැපකිරීමක් තිබුනා ඉස්කෝලේ වැඩ කටයුතු වලට.ආනන්දෙට තුන්දෙනාම ගිය නිසා රැස්වීම් වලට නිතරම යන්න වෙනවා.ඉතින් ඒ වගේ ලොකු කාර්‍යබාරයක් කලා.ඉතින් ඒ හැමදේම අම්මගෙ අත්දැකීම් නිසාද මන්දා මම බැලන්ස් කරගත්තා.කොයි වෙලාවකවත් සැමියාව නොසකලා හැරලා නෑ.සැමියා දරුවෝ නෑයෝ එක්ක බොහොම සුහදව ආපු ගමනක් මේක.

මම නිතරම කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නෑ. නමුත් කාන්තාවක් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරනව නම් තමන්ගේ දරුවට, සැමියට ,පවුලට ,ආයතනයට ,ගෙදර සේවකයන්ට ,නෑයන්ට ,මිත්‍රයන්ට. මං හිතන්නේ ඒ අයිතිවාසිකම් ඇයට නිකන්ම ලැබෙනවා.මගෙ සැමියා මට අසීමිත නිදහසක් දීලා තිබුණා.කවදාවත් මම ඒක අයුතු ලෙස පාවිච්චි කලේ නෑ.නමුත් හැමවෙලාවෙම හොඳ ජීවිතයක් ගත කලා.අඩු පාඩුවෙන්නත් ඇති.නමුත් පුලුවන් තරම් හැමෝවම රැකබලාගෙන තමයි මේ ගමන ආවේ.

මම දැඩිවම කිව්ව මට රස්සාවට යන්න ඕන කියලා .ඔහු එකපාරක් ඉල්ලා හිටියා රැකියාවෙන් අස් වෙන්න කියල.එතකොට අපෙ අම්මට ඕක ඇහිලා කිව්ව ගෙදර ප්‍රශ්නයක් නම් රැකියාවෙන් අස් වෙන්න.නැත්තම් මට තව චුට්ටක් දරුවෝ බලන්න පුලුවන් කියලා .ඉතින් ඒ වචනෙත් එක්ක මම රැකියාව කලා.පස්සෙ මට උසස්වීම් ලැබුනා ඒ එක්ක.ඉතින් රැකියාව පවා කැපවීමෙන් ඉතා විශිෂ්ඨ ලෙස කරලා ආයතනයේ හැමෝටම කරුණාව දයාව දක්වලා එන අපනයනකරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධ පවත්වලා ඔවුන්ගෙ ගැටලු දිහා බලලා ,මම හිටියෙ ප්‍රතිපත්ති අංශයේ නිසා මට ඒ වගෙ දේවල් වලට ගොඩක් යොමු වෙන්න පුලුවන් උනා.අස් වෙද්දි මම අධ්‍යක්ෂවරියක් විදියට රැකියාව කරලා විශ්‍රාම ගත්තේ.ඒ වෙනකන් විශිෂ්ඨ සේවයක් කලා.ඉතින් මම කියන්න කැමතියි කාන්තාවට ඒක ප්ලෑන් කරලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.එක එක කාන්තාවට ඒ වෙලාවට අනුව ගන්න වෙන තීරණයක්.මට එවලේ හැකියාව තිබුණට තව කාන්තාවකට දරුවෝ නොසලකා හැරලා රැකියාවට යන්න හොඳ නෑ. දෙමව්පියන් නැත්තම් මම නිවාඩු දාලා දරුවෝ බැලුවා මිසක් වැඩට ගියේ නෑ.පොඩි පොඩි විදියට නොසලකා හැරෙන්න ඇති නමුත් විශාල වශයෙන් ඒවා අත හැරියෙ නෑ මම.

හරියට ප්‍රශ්න ආවා අපිට.නමුත් මුහුණ දුන්නා.ඒ හැමදේම ඉවසීම තමයි.ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසුවා සමහර තැන්වල.නමුත් මතභේද ආවම කවදාවත් දරුවෝ ඉදිරියේ ඒවා කතා කලේ නෑ.ඒවා පෞද්ගලිකව කතා කරලා විසඳුම් හොයාගෙන තමයි මේ ගමන ආවේ.

ඇත්තටම මට ආසයි කියන්න මට හැමෝගෙන්ම ලැබුනේ ආශිර්වාද තමයි ලැබුනේ. මං හිතන්නෙ මගෙ ඒ පැවැත්ම නිසා වෙන්න ඇති.මම වෙනස් උනෙත් නෑ. කවුරුහරි ගෙදරට ආවත් මග තොටේ හම්බුනත් ආශිර්වාද කරනවා.ඉතින් ඒ වගේ blessings තමයි මගෙ ගමනට ලැබුනේ.මේක මම තනියම ආපු ගමනක් නෙමෙයි සහෝදරයෝ යාලුවෝ ඇතුලු හැමෝම උදවු කලා මේ ගමන එන්න.

එතනදිත් මම කියන්නෙ මැදි මාවත තමයි හොඳ. ළමයින්ට ඕන දිසාවට යන්න කියන්නත් බෑ තල්ලු කරන්නත් බෑ.ඒක නිසා ඔවුන් එක්ක එකතුවෙලා අපි බලන්න ඕන දරුවෝ මොන පැත්තට යන්න සුදුසු කියලා .උදාහරණයක් විදියට ළමයි තෝරගත්තෙ එයාලගෙම යාලුවො.අපි තෝරලා දුන්නෙ නෑ. නමුත් ආනන්දේ පසුබිමත් එක්ක හොඳ යාලුවෝ ,හොඳ විෂයන් තෝරගත්තා.දැනට උනත් එයාලත් එක්ක මිතුරන් වගේ කටයුතු කරන්නේ.අපි ඔවුන් කියන දේ ඇහුවා.අධ්‍යාපනය ගැනද ජීවිතේ ගැනද හැමදේම.පුරුද්දක් විදියට අපි කෑම මේසේ එකට කන්නේ අඩු ගානේ රෑට හරි.ඒ වගේ වෙලාවට යාලුවො වගේ කතා කරා.කිසිදේකට බල කලේ නෑ ඔවුන්ට.

ඒ වගේ දේවල් ඇත්තටම සිදුවුනා.නමුත් ඔහු කොච්චර කාර්යබහුල උනත් ඔහුට තේරුම් කරලා දුන්නොත් ඒකට කොහොම හරි වෙලාව හොයාගන්නවා.දරුවන්ගේ පාසලේ රැස්වීම් හැම එකටම නාවත් අවශ්‍යම එකකට එන්න කිව්වොත් ඔහු එනවා.කාන්තාවක් උනාම ඔහුගෙන් වෙලාව හම්බුණේ නැතත් ඒක මත්තෙ රණ්ඩු වලට යන්නෙ නැතුව තමන්ගෙ ශක්තියෙන් ඉස්සරහට ගියොත් ජයගන්න පුලුවන්

ලොකුම උපදෙස තමයි attitudes.මට කරන්න පුලුවන් කියලා නිතරම ධනාත්මකව හිතන්න. මම කලින් කිව්වා වගේ මවකගේ ,සහෝදරියකගේ ,දුවෙක්ගේ ,යහලුවෙක්ගෙ භූමිකාව හරියට කලාම ඒ ආශිර්වාද ලැබෙනවා.ඉතින් ඒ ආකල්ප තමයි ගොඩක් වැදගත්.

ඔබ කිව්ව වගේ ඉස්සර කාර්යබහුල උනත් දැන් අපි ඉතාමත් විවේක සුවයෙන් තමයි මගෙ සැමියත් ඉන්නේ විශාල ව්‍යාපාරයක සභාපති කෙනෙක් උනත්, මගේ විශ්‍රාම යාමත් සමඟම ඔහුත් ව්‍යාපාර කටයුතු වලින් පොඩ්ඩක් නිදහස් වෙලා විවේකයෙන් ඉන්නවා. මේ කොරෝනා තත්වය සමඟ ජිවිතෙ යතාර්ථය අවබෝධ කරගෙන ඔහුත් ඉතා දැඩි ලෙස ව්‍යාපාර වල ඇලී ගැලී ඉන්නැතුව විවේක සුවයෙන් මේ දවස් වල පසුවෙනවා.අපි මේ කාලයේ තණමල්විල පැත්තෙ ඉඩම් අරගෙන ඉතා සාර්ථක ගොවිපලක් පටන් අරගෙන අපි හරි සතුටින් එහි වගා කටයුතු කරගෙන විශ්‍රාම සුවයෙන් මේ දවස් වල කල් ගත කරනවා. එහෙම තමයි මේ දවස් වල අපේ ජීවිතේ ගෙවෙන්නේ.
මම අවසානයට කියන්න කැමතියි මෙහෙම. දෙවියන්ට හැමතැනකම ඉන්න බැරි නිසා මවක් ,එහෙම නැත්තම් ගැහැණියක් දීලා තියනවා පවුලකට.මම හරි ආසයි ඒ කියමනට.ඒක තමයි සත්‍යය.මවකගේ භූමිකාව ඉතා වටිනවා පවුලක් සාර්ථක වෙන්න. ඒක තමයි මට දෙන්න ඕන පණිවිඩය.

අද Chat With Smart Lady කතා බහට අපිත් එක්ක එකතු උනේ දයානි වෑගපිටිය මහත්මිය. Smart Lady වෙබ් අඩවිය හරහා අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ මේ කතාබහ ඔස්සේ ඔබේ ජීවිතයට හරවත් යමක් එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here