දශක 30කට අධික ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 දියත් කළ අරගලය දෙස මෙරට ලේඛකයන් බැලූ ආකාරය පිළිබඳව සාහිත්‍යවේදී කමල් පෙරේරා ශූරීන් විසින් සිළුමිණ පුවත්පතට ලිපියක් සම්පාදනය කර තිබේ. “71 කැරැල්ලෙන් සාහිත්‍ය කලාවන් ලැබු පන්නරය” ලෙස නම් කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.
“ලංකා ඉතිහාසයේ සමාජ, දේශපාලන හා සංස්කෘතික විකාසනය පිළිබඳව කෙරෙන ඕනෑම විමර්ශනයකදී ජවිපෙ විසින් එම ක්ෂේත්‍රවලට කරනු ලැබූ මැදිහත් වීම කිසිසේත් නොතකා හැරිය නොහැක.
1971 අප්‍රේල් කැරැල්ල නමින් මීට 45වසරකට කලින් ජනබසට එක් වූ තරුණ නැගිටීමට නායකත්වය සපයන ලද්දේ ජවිපෙ විසිනි. එම කැරැල්ල විසින් ලාංකේය සමාජයේ සියලුම ස්ථරයන්ට පාහේ සුවිසල් බලපෑමක් කරනු ලැබීය. දේශීය සාහිත්‍ය කලාවද එම ක්ෂේත්‍ර අතරින් වෙසෙස් එකකි.
1971 කැරැල්ල මගින් ශ්‍රී ලාංකේය ලේඛකයන්ට මෙන්ම ලේඛන කලාවටද කරන ලද බලපෑම විමසා බැලීම කාලීන වශයෙන් වැදගත් වනු ඇතැයි අපි සිතමු. මේ ලිපිය ඒ සඳහා දැරෙන ප්‍රයත්නයකි.
“අපේ අරගලයේදී
ගිටාරය සැබෑ අවියක් වෙන්නේත්
වෙඩි උණ්ඩයක් වෙන්නේත්
එය වාදනය කරන්නා
අව්‍යාජ විප්ලවවාදියකු
වන්නේ නම් පමණි..”
වික්ටර් හාරා
ඒ හඬ චිලී දේශයේ ජනකාන්ත විප්ලවීය ගායකයා වූ වික්ටර් හාරාගේය. ඔහුගේ අභීත රණහඬ ඒකාධිපති ඔගස්ටෝ පිනෝචේට එරෙහිව වීදි බැස සිටි ජනතාවට අපමණ දිරියක් සැපයීය. පිනොචේගේ අලුගෝසු හමුදාව හාරා පැහැරගෙන ගොස් ඔහුගේ ඇඟිලි කපා ගිටාරය වාදනය කරන්න යයි කියමින් දස වද දුන්හ.
අව්‍යාජ සටන්කාමියකුගේ විප්ලවීය ජීවගුණය පෙන්නුම් කරමින් හාරා ඔවුන්ට සමච්චල් සිනහවක් පාමින් සදහටම මව්බිම වැළඳ ගත්තේය.
ඒ සමය වන විට බෝගම්බර සිපිරි ගෙය ඇතුළු සිර කඳවුරු රැසක් ලාංකේය විප්ලවවාදීන්ගෙන් පිරී යමින් තිබිණ. වික්ටර් හාරාගේ රණගොස සත් සමුදුරු තරණය කරමින් 71 තරුණ කරලිකරුවන් රඳවා සිටි සිර මැදිරි තුළටද කාන්දු විය.
පසු කලෙක “විමුක්ති ගී” නමින් සුවහසක් ජනයාගේ ප්‍රසාදයට පාත්‍ර වූ ගීත මාලාවට තිඹිරි ගෙය වූයේ මේ අඳුරු සිරකුටිය. 1979 වසරේ ලයනල් බෝපගේ ගේ නමින් සමාජවාදී කලා සංගමය විසින් ප්‍රකාශිත “විමුක්ති ගී” සමරු පිංචේ ඒ අමරණීය මතක සටහන් ලියැවී ඇත්තේ මෙසේය.
“ලෙයින්, කඳුළෙන්, සුසුම් රැල්ලෙන් උපත ලද ඒ විමුක්ති ගී හඬ එදා අඳුරු සිරකුටි තුළ රැව් පිළිරැව් දෙමින් වා තලයට එක් වුණා. ප්‍රසංගයක් වශයෙන් මුලින්ම විමුක්ති ගී උපත ලද්දේ තබ්ලාව වෙනුවට බෙලෙක් තැටියත්-ජෝගුවත්, මියුරු සංගිතය වෙනුවට ගොරෝසු කටහඬත් එක්කොට සිරකුටි තුළ පැවැත් වූ සැමරුම් වැඩසටහන් තුළින්. එදා බොහෝ ගීත නිමවුණේ එක්කෝ සැමරුම් ගී නැතහොත් රණ ගී ලෙසින්..”
1971 කැරැල්ල ලාංකික ගීත කලාව අතුළු සාහිත්‍ය කලාවන් නව දිසානතියකට යොමු කිරිමට දැරූ සාධනීය තැතක් ලෙස “විමුක්ති ගී” ප්‍රසංගය ඉතිහාසගත වන බව අවිවාදිතය.
ගීයක් යනු හුදු වදන් මාලාවක් හා නාද රටා සමූහයක සංකලනයක් පමණත් නොව ශ්‍රාවක ප්‍රජාවගේ මනෝභාවයන් පුබුදු කොට ඔවුන්ගේ ජීවන අභිලාෂයන් කුළුගන්වන කලා මාධ්‍යයක් බව ජනතාවට ප්‍රබල ලෙස ඒත්තු ගන්වනු ලැබුවේ “විමුක්ති ගී” ප්‍රසංගය මගිනි.
ගීතයක, කවියක නැතිනම් වෙනත් ඕනාම සාහිත්‍යාංගයක අරුත මනා සේ උද්දීපනය වන්නේ නිසි වදන් නිසි තැන්වල ස්ථානගත කිරීමට නිර්මාණකරුවා දක්වන සමත්කම මගිනි.
එම නිර්මාණ කාර්යයෙහි වෙසෙස් කුසලතාවකට හිමිකම් කියන ජ්‍යෙෂ්ඨ කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයෝද 1971 කැරැල්ලෙන් ඔපවත් වුණු සාහිත්‍ය-කලා ධාරාවෙන් පෝෂණය ලැබුවෙකි. ඒ පිළිබඳව යමක් පවසන ලෙස අප ඇරියුම් කළ විට ඔහු හඬ අවදි කළේ මෙසේය.
“හැත්තෑ ගණන්වල මම හිටියෙ ගාල්ලෙ රිච්මන්ඩ්වල ඒ ලෙවල් පන්තියෙ. විජේදාස ලියනආරච්චිත් වීරකැටියෙ සෙන්ට්‍රල් එකේ ඉඳලා රිච්මන්ඩ් එකට ආවා. පාසල් විවාද කණ්ඩායම හරහා තමා අපි හුඟක් සමිප යාළුවො වුණේ. පස්සෙ එයා මාව දේශපාලනයට ඇදලා ගත්තා. එයා මට පන්ති පහම කෙරෙව්වා. මට අද වගේ මතකයි රෝහණ විජේවීර සහෝදරයත් එක්ක දෙවෙනි පන්තිය කරපු දවස. 71 දවසක එයා මගේ බෝඩිමට ඇවිත් පක්ෂයේ වැඩකට සල්ලි ඉල්ලුවා. ඇත්තටම මගෙ අතේ සල්ලි තිබුණෙ නැහැ. ඒත් මොන ජාතියෙන් හරි සල්ලි ටිකක් හොයලා දෙන්න කියලා විජේදාස පෙරැත්ත කළා. මට අම්මගෙන් ලැබුණ රත්තරන් සුර ටිකකුයි, පංචායුදයකුයි, මුද්දකුයි සූටිකේස් එකේ තිබුණා. අන්තිමට ඒ ටික ඔක්කොම කළුවැල්ලේ රත්තරන් බඩු සාප්පුවකට දීලා රුපියල් හාරදහස්තුන්සිය විස්සක් අරං දුන්නා.
ඒ කාලේ මගේ බෝඩින් ගාස්තුව මාසෙකට රුපියල් සීයයි. ඒ අනුව රත්තරන් බඩුවල වටිනාකම හිතාගන්න පුළුවන්නේ. ඒත් ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සාමාජිකයො ඉන්න පක්ෂයක් වෙනුවෙන් මිට වඩා ලොකු පරිත්‍යාගයක් වුණත් කරන්න තිබුණනං හොඳයි කියලා මට එවෙලේ හිතුණා..”
මතු දවසක මහා කවියකු වීමට පෙරනිමිති පළ කරමින් සිටි රත්න ශ්‍රීට අවැසි සමාජ-දේශපාලන දෘෂ්ටිය මේ පන්ති මාලාව හරහා ලැබිණි. 1979 වසරේ පළ වූ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයේ එන “වඳුරු යෝනියි-දේව ගණයි ” නම් මේ කව ඊට දෙස් දරයි.
ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා
කෙළිදෙලෙන් ඔවුන් නැත ආවේ
ඉවෙන් වගේ දිය වළක් සොයාගෙන
පිපාසයෙන්මය ආවේ
දිය රකුස් පිරිස් මේ විලට අරක්ගත්
බවක් ඔවුන් නැත දන්නේ
බඩ සයින් ඈත සිට හොරෙන් හොරෙන්
දියබොන්න උපා නැත දන්නේ
බෝ-සතුන් රැලේ සිටි කාලෙ වගේ
නැත නායකයන් එහි උන්නේ
* * * * * *
යුද සෙබළ කඳවුරේ මුර කරන
රකුසු ඇස් ඇරුණේය.
විල්තෙරට
දිය බොන්ට ආ ගොදුරු පෙනුණේය.
සවණක් රැසින් දිළෙන රයිපල්ය
භෝජනය අරගන්ට කල්යල්ය.
කැලෑ මල් දැදුරු කර
රුදුරු වෙඩි හඬ නැගිණ
පිට පිටම.
තරුණ වඳුරෙක් පපුව බදාගෙන බිම වැටිණ.
කළු ලෝම තෙමාගෙන
ගලා ආවේය ලේ උතුරමින
විසඥව යන්ට පෙර
පෙරෙන රතු ලේ දිහා බලාගෙන
ඌ කියනවා යන්තමට ඇසිණ-
මිය යන්ට-ආසන්න වූ දුබල කටහඬින
‘කමක් නෑ අයියන්ඩි
කමක් නෑ
වතුර ඩිංගක් ගෙනැල්ලා දෙන්න
මට බොන්න’
තරුණ කැරලිකරුවන් මුහුණ දුන් ඛේදනිය අත්දැකීම සාම්ප්‍රදායික කාව්‍ය රීතින්ගේ ආභාෂය ලබමින් රත්න ශ්‍රී අපූරු කාව්‍ය සිත්තතමක් නිමවයි.
1971 අරගලයෙන් කවියකුට ලබාගත හැකි පන්නරය කෙබඳුදැයි මම ජ්‍යෙෂ්ඨ කවියාගෙන් විමසා සිටියෙමි.
“ජනතාව වෙනුවෙන් පෙනී සිටීම.. ජනතාවට පක්ෂපාති වීම.. ඔවුන්ගේ කටහඬ වීම.. ඔවුන්ගේ ප්‍රශ්න අපේ බවට පත් කරගැනීම.. හෘදයාග්‍රාහි වීම..” රත්න ශ්‍රීගේ කෙටි පිළිවදන එසේ විය.
ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ කෙටිකතාව හා නවකතාව යන සාහිත්‍යාංග දෙකෙහිම සම්මානිත සාහිත්‍යධරයෙකි. 1971 කැරැල්ල සිදුවන සමය වන විට කීර්ති පාසල් සිසුවෙකි. ජ්‍යෙෂ්ඨ තරුණ පරපුර අරගලය වටා එක්රොක් වන අයුරු ඔහු ආස්වාදයෙක් යුතුව බලා සිටියේය.
“හැත්තෑ එකේ කැරැල්ල වගේම ඊට පසුකාලීනව ඇති කළ කම්පනය මගේ සාහිත්‍ය ජීවිතයට ලොකු බලපෑමක් කළා. ඒ කැරැල්ල අස්වභාවික හෝ කෘතිම එකක් හැටියට මම නං කිසිසේත්ම සලකන්නෙ නැහැ. හැටේ-හැත්තැවෙ දශක වල කියුබාව, චිලිය, ආජෙන්ටිනාව, වියට්නාමය වගේ රටවල් රැසක සටන් රැල්ලක් මතු වුණා. නිදහස් අධ්‍යාපනයෙන් පසුව දැඩි අවිනිශ්චිතභාවයකට මුහුණ දුන් අපෙ රටේ උගත් ගැමි තරුණ පරපුර ඒ සටන් රැල්ලේ පන්නරයත් ඇතිවයි හැත්තෑ එකේ සටනට පිවිසෙන්නෙ..” ප්‍රවීණ ලේඛකයකු වශයෙන් ඔහු තරුණ නැගිටීම දෙස උපේක්ෂාබර බැල්මක් හෙළුවේ එසේය
1971 සිදුවීම් වලින් සිය හදෙහි හටගත් කම්පනය සාහිත්‍ය නිර්මාණයක් ඔස්සේ මුදාහැරීමට කීර්තිට තවත් වසර 28ක් පමණ ගත විය. ඇතුලාන්තයෙන් කිසියම් බලකිරීමක් කෙරෙන තුරු නිර්මාණයක් සමාජයට මුදා නොහල යුතු යයි ඔහු පවසයි. ඒ අනුව කීර්ති වැලිසරගේ “දුර්යෝගය” නවකතාව රචනා කරන්නේ 1999දීය.
කරුණා නම් උගත් ගැමි නිර්ධන පන්ති තරුණයකු කැරලි මර්දන යාන්ත්‍රණයේ ගොදුරක් බවට පත් වන සැටි කීර්ති මෙම නවකතාව මගින් සිතුවමට නගයි. එසේම කැරැල්ල මර්දනය කිරීමෙන් ඉක්බිති සමාජය පාදඩකරණය වන සැටිත් තරුණයාගේ පෙම්වතියට පවා පාදඩකරණය තුළින් බිහි වූ ජාවාරම්කාරයකුගේ අත ගැනීමට සිදුවන ආකාරයත් මෙහි විස්තර කෙරේ.
“හැත්තෑ එකේ රටේ ඇති වූ තරුණ පිබිදීම තිරස්චින ලෙස විනාශ කර දැමීම පිළිබඳව සිතේ හට ගත් කම්පනය තමා දුර්යෝගයෙන් මම ප්‍රකාශ කරන්නෙ. ඒ විප්ලවකාරි තාරුණ්‍යය නිර්දය ලෙස විනාශ කිරීම අපේ රටට පසුකාලීනව සිදු වූ මේ සියලු ව්‍යසනයන්ගේ ආරම්භය හැටියට මම දකිනවා.” ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ අවසානයේ කියා සිටියේය.
අපේ රටේ තවත් බොහෝ ලේඛක ලේඛිකාවන් විසින් 1971 සංසිද්ධි තේමා කර ගනිමින් කවි, කෙටිකතා හා නවකතා කෘති රැසක් නිර්මාණය කරනු ලැබ තිබේ. 1975 දී එළි දුටු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නැහැ” නවකතාව එකල පාඨක-විචාරක පර්ෂද අතර සෑහෙන සංවාදයකට පාත්‍ර විය.
මෙය එක්තරා දුරකට සරච්චන්ද්‍රයන්ගේම සජීවී අත්දැකීමක් ඇසුරෙන් නිර්මිත ප්‍රබන්ධයකි. කැරැල්ලට සම්බන්ධ වූ සරසවි සිසුන් රැසකගේ ජීවිත රැකදීමට මහැදුරු සරච්චන්ද්‍ර දැඩි අවදානමක් ගත්තේය. නවකතාවේ තරුණ කථිකාචාර්යවරයාගේ භූමිකාව නියෝජනය කරනුයේ සරච්චන්ද්‍රයන් යයි කියනු ලැබේ.
සරත් ආරියරත්නගේ “හැත්තෑවේ කොලනිය” ද ග්‍රාමීය කොලනි ජන සමාජය කෙරෙහි 71 කැරැල්ල බලපෑ ආකාරය විමසා බැලෙන නවකතාවකි. පසුගාමි සමාජ කණඩායමක් වන ගොවි ජනයා කැරැල්ලට කෙමෙන් ආකර්ශනය වන ආකාරය සේම කැරැල්ල ඔවුන්ගේ සාම්ප්‍රදායික දිවි පැවැත්ම උඩු-යටිකුරු කරන අයුරුත් ලේඛකයා මේ නවකතාව මගින් විමසුමට ලක් කරයි.
ගුණදාස අමරසේකරද සිය නවකතා කිහිපයක් ඔස්සේ කැරලි පසුබිම විමර්ශනය කර ඇති සැටි දැකිය හැකිය. “අසත්‍ය කතාවක්” හා “ප්‍රේමයේ සත්‍ය කතාව” නව කතා දෙක මගින්ම දේශපාලනයට පිවිසි තරුණ ප්‍රජාව වෙත ඔහුගේ විමසුම් ඇස යොමු වේ.
ගුණසේන විතානයන්ගේ “විප්ලවයේ කැරලිකාරයෝ”,
එච්. ඒ. සෙනවිරත්නගේ “අවසානය මෙය නොවේ”,
ජයතිලක කම්මැල්ලවීරගේ “චුම්බන කන්ද”, “තාත්තලාගේ කතාව” හා “අට අවුරුද්ද”,
ආචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ “රාජ ද්‍රෝහියකුගේ කතාව“
ආරියරත්න විතානගේ “අවිගත් සමයක” කමල් පෙරේරාගේ “කඳුයාය නිසලයි” ආදි නවකතාද 1971 තරුණ නැගිටීම තේමා කරගත් නවකතා අතර වේ.
බොහොමයක් ලේඛක ලේඛිකාවන්ගේ කෙටිකතා හා කාව්‍ය එකතු වලද 71ට අදාළ අත්දැකීම් පසුබිම් කරගත් නිර්මාණ දැකිය හැකිය.
ඒ.වී. සුරවීර, දයාසේන ගුණසිංහ, එරික් ඉලයප්ආරච්චි, ලියනගේ අමකීර්ති, අනුරසිරි හෙට්ටිගේ ආදි ලේඛකයන්ගේ කෙටිකතා අතර මෙන්ම පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, නන්දන වීරසිංහ, සෙනරත් ගොන්සාල් කෝරාල, කුමාර හෙට්ටිආරච්චිගේ කාව්‍ය සංග්‍රහවලද එබඳු කවි දක්නට ලැබේ.
කැරැල්ල දෙස විචාරාත්මකව බලන්නට තැත් කළ විමර්ශන කෘති ගණනාවන්ම වෙයි.
71 කරැල්ලට අදාළව පිහිට වූ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවේ සාමාජිකයකු වන
ඒ. සී. අලස්ගේ “71 කැරැල්ල”,
කැරැල්ලේ විත්තිකරුවකු වූ වික්ටර් අයිවන්ගේ “71 කැරැල්ල”,
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ “විප්ලවකාරි ජනතා ව්‍යාපාරය කුරුවල් කළ 71කැරැල්ල”,
ජනතා සංගමය මගින් ප්‍රකාශිත “71 අප්‍රෙල් නැගිටීම ( 1සහ2 ),
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශනයක් වූ 71අප්‍රේල් දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බලමු”, වැනි සිංහල කෘති වලට අමතරව මහාචාර්ය ගනනාථ ඔබේසේකර
“Some comments on the social backgrounds of theApril 71”
එච්. ඒ. අයි. ගුණතිලකගේ “The April 1971 Insurrection in Ceylon”
හා රොහාන් ගුණරත්නගේ ” Sri Lanja -A Lost Revolution “
යනුවෙන් ඉංග්‍රීසි බසින් පළ කළ කාති කිහිපයක්ද දක්නට හැකිය.
ප්‍රබුද්ධ පුරවැසියන් සහිත සමාජයක් ගොඩනැඟීමේදී ඓතිහාසික සමාජ පෙරළි වලින් උගත හැකි පාඩම් කෙතරම්ද යන්න 71 කැරැල්ල පසුබිම්කොට ලිය වී ඇති මේ ග්‍රන්ථ සමූහය සාක්ෂි දරයි.”
කමල් පෙරේරා
10
Saru News
















