සැකකරුවෝ 6 දෙනා පැය 72ක් රැඳවුම් භාරයට:
කොන්ත්‍රාත්තුව දුන්නේ ඇත්තටම ඩුබායි ලොක්කාද?
නාවින්නේ කුණු බක්කියක දමා ඇති බව කී ලක්ෂ 1 1/2 ගැනීමට යද්දී කොටුවුණා
වෙඩික්කරු එක එක වෙලාවට එකිනෙකට පරස්පර දේවල් කියනවා
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාතාල කල්ලි නායකයකු විසින් ලබාදුන් රුපියල් විසි ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා වන තාරක නමැත්තා ඇතුළු සැකකරුවන් හයදෙනාගෙන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය උසාවියෙන් අවසර ලබාගෙන තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමෙන් පසු එහි වෙඩික්කරු වන තාරක ඔහුගේ බිරිඳ සහ යතුරුපැදිකරු වන ලහිරු යන තිදෙනා කැකිරාව පොතානේගම නිවාස 50 ප්‍රදේශයේ වෙල්යායක අතහැර දැමූ නිවසක නවාතැන් ගෙන ඇත.
වැලිගම පොලිසිය ලබාදුන් තොරතුරක් ඔස්සේ විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මෙම අපරාධකරුවන් රැඳී සිටින නිවස පෙරේදා (26 දා) අලුයම හඳුනාගෙන තිබේ.
ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ තාරක නමැත්තා පොලිස් නිලධාරීන්ට ද පහර දී පලා ගොස් තිබිණි. මෙසේ පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉන් අනතුරුව ය. සැකකරු පරිහරණය කරන ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු පිටකොටුව ප්‍රදේශයට පැමිණ සිටින බව හෙළි කර ගත්තේය.
පොලිසිය ඔහු සොයා විමර්ශන පවත්වද්දී සැකකරු බොරැල්ල සහශ්‍රපුර ප්‍රදේශයේ සිය මිතුරකුගේ නිවසට පැමිණ සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව පොලිසිය සහශ්‍රපුරයේ නිවස වටලා පරීක්ෂා කිරීමේදී සැකකරු එම නිවස හැරගොස් සිටියේය.
මේ අතර සැකකරු මහරගම නාවින්න ප්‍රදේශයේ සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය සහ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් ඇත.
ඒ අනුව සැකකරු මහරගම නාවින්න බෝධිය අසලදී කොටුකර ගැනීමට හැකිවූයේ ත්‍රිරෝද රථයක යමින් සිටියදීය. ඒ අවස්ථාවේ පැවැති අධික වාහන තදබදය ප්‍රයෝජනයට ගත් වෙඩික්කරු ත්‍රිරෝද රථයෙන් බැස දිවගොස් තිබේ. එහිදී පොලිස් නිලධාරීන් ද ඔහු ලුහුබැඳ ගොස් ඇති අතර සැකකරු අතුරු මාර්ගයක පිහිටි ගරාජයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ ඩුබායි ලොක්කා නමැති පාතාල නායකයා විසින් බවයි. ලසන්ත වික්‍රමසේකර ඝාතනය සඳහා තමන්ට රුපියල් විසිලක්ෂයක මුදලක් ලබාදීමට පොරොන්දු වූ බවත් ඝාතනය සිදු කළ 22 දා පෙරවරුවේ එම මුදලින් ලක්ෂ 15ක මුදලක් අත්තිකාරම් ලෙස තමන්ට ලබාදුන් බවත්ය. කොන්ත්‍රාත් මුදලින් ලක්ෂ 1 1/2 ක් මහරගම නාවින්න ප්‍රදේශයේ බස් නැවතුම්පළ ඉදිරිපිට කුණු බක්කියක ඇති බව ඩුබායි රාජ්‍යයේ සිට කථා කළ පුද්ගලයකු තමන්ට පැවසූ බව ද සැකකරු හෙළිකර ඇත.
එම මුදල ලබාගැනීම සඳහා ත්‍රිරෝද රථයක යමින් සිටියදී තමන් පොලිසියට කොටු වූ බව ද සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
හේමන්ත රන්දුණු
Saru FM Media










