ලක්ෂ 3ක් පැමිණිලි විමර්ශනය අර්බුදයක – අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක

0
1

නිලධාරීන් 967ක් අවශ්‍ය වුවත් දැනට ඉන්නේ 169යි

ගිය ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද කියා නොසලකා දේශපාලකයන්ට එරෙහි පැමිණිලි විමර්ශනය කරනවා

● මම ජවිපෙ කමිටුවක හිටියා නම් නන්දන ගුණතිලක එය ඔප්පු කළ යුතුයි

● රට කොතරම් දූෂිත දැයි තේරුණේ මේ තනතුරට ආවට පසුවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ ලක්‍ෂ 03ක් විමර්ශනයට සිටින්නේ නිලධාරීන් 05 දෙනකු පමණක් බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතා ඊයේ (02දා) පැවසීය. නිලධාරීන් බඳවා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් නැතැයි ද හෙතෙම චෝදනා කළේය.

කොමිෂන් සභාවේ වැඩකටයුතු ක්‍රමානුකූලව කරගෙන යෑම සඳහා නීති නිලධාරීන් සමග විමර්ශන නිලධාරීන් 967ක් අවශ්‍ය වුවත් දැනට සිටින ප්‍රමාණය 169ක් බවද දිසානායක මහතා එම කොමිෂන් සභාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. දැනට නීති නිලධාරීන් සිටින්නේ 31ක් බවත් එම ප්‍රමාණය 75ක් දක්වා වැඩිවිය යුතු බවත් ඒ මහතා කීය.

මේ වසරේ අගෝස්තු 31 වනවිට කොමිසම වෙත පැමිණිලි 4626ක් ලැබී ඇති බවත් සිටින නිලධාරීන් 169 දෙනා සමග මෙම පැමිණිලි විමර්ශනය කරන අතරේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම, ලංකාවේ ආර්ථිකය බිඳවැටීමට හේතු ගැන සොයා එම පිරිසට එරෙහිව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති සංකීර්ණ විමර්ශන ද සිදුකිරීමට සිදුව ඇතැයි දිසානායක මහතා කීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇමැතිවරයකු යටතේ හෝ රාජ්‍ය ආයතනයක් යටතේ පවතින ආයතනයක් නොවන බවත් එය ස්වාධීන ආයතනයක් බවත් ඒ මහතා කීය. පොලිස්පතිවරයා, නීතිපතිවරයා වැනි පත්කිරීම්වලදී ජනාධිපතිවරයා යවන නම ව්‍යවස්ථා සභාව අනුමත කළ යුතු වුවත් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තෝරාගන්නා නිලධාරියා ජනාධිපතිවරයාගේ නිර්දේශයට යවා පත්කර ගන්නා බවද ඒ මහතා කීය.

ව්‍යවස්ථාදායක සභාවෙන් තමා පත් කළ පසු ස්වාමින් වහන්සේලා දෙනමක සහ නීතිඥවරයකු අභියාචනයක් ඉදිරිපත් කර පසුව ඒවා ඉවත් කරගත් බවද දිසානායක මහතා කීය. තමා කොමිෂන් සභාවට පත්කිරීමේදී දේශපාලන පක්‍ෂයක කමිටුවක සිටියා නම් එම වකවානුවේදීම නන්දන ගුණතිලක හා උදය ගම්මන්පිල මහත්වරුන්ට ව්‍යවස්ථාදායක සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබුණත් ඔවුන් එසේ නොකර මාධ්‍යයෙන් සහ වෙනත් ආකාරයෙන් චෝදනා එල්ල කරන්නේ තමා කෙරෙහි සහ කොමිසම කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ දැමීමට බවද හෙතෙම චෝදනා කළේය.

තමාගේ දරුවා රාජකීය විiාලයට ඇතුළත් කිරීමට එරෙහිව අල්ලස් කොමිසමට ලැබී තිබූ පැමිණිල්ල තමාගේ මැදිහත්වීමකින් තොරව කොමිසම මගින් ඊට අදාළ ලේඛන ගෙන්වා පරීක්‍ෂා කර නීති විරෝධී දෙයක් සිදුව නැති බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවද දිසානායක මහතා කීය. එම සිදුවීමෙන් තමා වරදක් කර ඇත්නම් ඒ බවත්, පැමිණිල්ල සත්‍යය ද අසත්‍ය ද බවත් සහ අසත්‍ය පැමිණිල්ලක් කර ඇත්නම් එම පුද්ගලයාට එරෙහිව කටයුතු කරන ලෙසත් තමා ඉල්ලා තිබෙන බවත් ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයකු වන නන්දන ගුණතිලක මහතා තමා ජවිපෙ කමිටුවක සිටි බවට චෝදනා කරන නමුත් තමා එවැනි කමිටුවක නොසිටි බවත් දිසානායක මහතා කීය. තමා මහෙස්ත්‍රාත් සහ මහාධිකරණ විනිසුරුවරයකු ලෙස වසර 20කට වැඩි කාලයක් සේවය කර ඇති බවත් එම කාලයේ තමාට එවැනි චෝදනාවක් තිබුණා නම් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට හැකියාව තිබූ බවත් දිසානායක මහතා කීය. තමා එසේ කමිටුවක සිටියා නම් එය ඔප්පු කිරීම නන්දන ගුණතිලක විසින් සිදුකළ යුතු බවද ඒ මහතා කීය.

තමාට අසත්‍ය චෝදනා එල්ල කරන්නේ තමා සහ කොමිෂන් සභාවේ කටයුතු අඩපණ කිරීමට බවත් මෙම තනතුරට පත්වූ පසුව මේ රට කොතරම් දූෂිත ද එයට එරෙහිව තමා කටයුතු කළ යුතු බව සිතුණ බවද ඔහු කීය. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ තමාගෙන් සහ කොමිෂන් සභාවෙන් එම කාර්යය කඩිනමින් සිදු කිරීම බවත් එම අපේක්‍ෂා ඉටුකිරීමට කාර්ය මණ්ඩලය වැඩිකරගත යුතු බවත් ඔහු කීය.

විපක්‍ෂයේ පිරිස් දඩයම් කිරීමට කටයුතු කරන බවට තමාට චෝදනා කළ ද තමාට එවැනි දෙයක් සිදුකළ නොහැකි බවත් ඔහු කීය. කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් විසින් කිසියම් පුද්ගලයකුට එරෙහිව කටයුතු කරන ලෙස තමාට විධාන කළයුතු බවත් එම විධාන ලැබෙන තෙක් තමාට ඕනෑ ඕනෑ ආකාරයට පුද්ගලයන්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවත් ඔහු කීය.

ඇතැමුන් ගැන විමර්ශන කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන කරනවාද? විමර්ශන සිදුකර ඔහු අත්අඩංගුවට ගන්නවාද යන්න කොමිසම විසින් තීරණය කරන බවත් ඒ අනුව කටයුතු කරගෙන යන බවත් හෙතෙම කීය. කෙසේ වෙතත් තමා පත්වීමට පෙර සිටම කොමිසම විමර්ශන කළයුතු ප්‍රමුඛ ලැයිස්තුවක් තිබූ බවත්, එහි ඇතැම් ඒවා රජයන් දෙක, තුනකට එහා සිට පැවති විමර්ශන බවත් ඔහු කීය.

උදාහරණ ලෙස මර්වින් සිල්වා ඇතුළු කිහිපදෙනකු පෙන්වා දිය හැකි බවත් චමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කරන බවට රජයේ පුවත්පතක පළවීම ඇතැම්විට විමර්ශනවලට බාධාවක් විය හැකි බවත් ඔහු කීය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස කොමිසමට දැනුම් දුන් බවද ඔහු කීය. මනුෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් එසේ මාධ්‍ය වාර්තා පළවුවත් ඔහු විදේශ ගතවී පසුගිය 28 වැනිදා රටට පැමිණෙන බව ප්‍රකාශ කළත් ඔහු 24 වැනිදා පැමිණෙන බව අල්ලස් කොමිසම දැනගෙන එදින ගුවන්තොටුපළට ගොස් කොමිසමට පැමිණෙන ලෙස මනුෂට දැනුම්දුන් බවද ඔහු කීය.

අල්ලස් කොමිසමට නිලධාරීන් බඳවා ගැනීම කොමිසමට සතු බලයක් වුවත් ඔවුන්ගේ වැඩුප් තීරණය කිරීම පාර්ලිමේන්තුව සතු කාර්යක් බවද ඔහු කීය. එහෙත් එම කාර්ය කිරීමට රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අනුව සිදුකළ යුතු බවට මුදල් අමාත්‍යාංශය දැනුම්දීම නිසා කාර්ය මණ්ඩල බඳවා ගැනීමට බාධා එල්ල වී ඇති බවත්, සතියකින් මෙම ප්‍රශ්නය විසඳන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නත් එය මෙතෙක් ඉටුවී නැති බවත් ඔහු කීය. මෙම ප්‍රශ්නය කථානායකවරයාට යොමු කිරීමෙන් පසු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ඔහු විසින් එම ලිපිය යොමුකර ඇතැයි ද දිසානායක මහතා කීය.

රාජ්‍ය යාන්ත්‍රණයෙන් මුදල් නොලැබෙන්නේ නම් එම අරමුදල් ප්‍රදානයන් ලෙස ලබාගෙන නිලධාරීන් බඳවා ගෙන එම අරමුදල්වලින් ගෙවීම් සිදුකළ හැකි බවට පනතේ සඳහන්ව ඇතත් එම මුදල් කුමනාකාරයෙන් උපයාගෙන ප්‍රදානයන් ලෙස කොමිසමට ලබා දෙනවාද යන්න සලකා බැලිය යුතු බවද ඔහු කීය. අල්ලස් කොමිසමේ කාර්යය කාර්යක්‍ෂම කිරීමට නම් මෙම කාර්යයන් අනිවාර්යයෙන්ම සිදුකර ගත යුතු බවද ඔහු කීය.

මේ වනවිට දේශපාලනඥයන් පිළිබඳ විමර්ශනය සිදුකර කොමිසම කිව්වොත් නඩු දැමීම් සිදුකරගෙන යන බවත්, එහිදී වත්මන් ආණ්ඩුවේ ද හිටපු ආණ්ඩුවල ද කියා සලකා බැලීමක් නොකරන බවත් නඩු දැමිය යුතු හිටපු සහ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here