ලක්‍ෂ 280ක අයථා වත්කම් චෝදනාවට මහින්දගේ PSO නෙවිල් රිමාන්ඩ්

0
1

උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්‍ෂ 280කට අධික වත්කම් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02දා) පස්වරුවේ නියෝග කළේය.

එම සැකකරු 2014 වසර වනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කොට ඇති නමුත් ඉන් පසුව ඒවා ඉදරිපත් කොට නොමැති බවත් 2016 වසරේ සිට මේ දක්වා උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්‍ෂ 280කට අධික වත්කම් හා දේපළවල හිමිකාරිත්වය දරන බවත් පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බවත් සැකකරු ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් එල්ල විය හැකි බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීහු හා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්හ. සිය සේවාදායකයා වසර පහක කාලයක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ නඩු පවරා තිබියදී වරද පිළිගෙන දඬුවමට ලක්වූ අයකු බව සැකකාර නෙවිල් වන්නිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේය.

තම කොමිෂන් සභාව විසින් විමර්ශන සිදුකරනුයේ වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ නොව ඔහු ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශවල පවතින පරස්පරතා සම්බන්ධයෙන් බවත් ඔහු අනාවරණය කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් ආදායම්වලට වඩා විශාල ආදායමක් සහ වත්කම් හා දේපළවල හිමිකාරිත්වය දරන බව මේ වනවිට අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ. මේ වනවිට සිදුකළ විමර්ශන අනුව රුපියල් ලක්‍ෂ 280කට අධික වත්කම් හා දේපළවල හිමිකාරිත්වය ඔහුට ඇති බවට අනාවරණය වී ඇති නමුත් එයට වඩා විශාල වත්කම් හා දේපළ ඔහු සන්තකයේ ඇති බව හෙළිවෙමින් ඇති බවද විමර්ශන නිලධාරීහු පැවසූහ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා කැඳවා තිබූ නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරු 1.30ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එකී දේපළ උපයාගත් ආකාරය අනාවරණය කරගැනීම සඳහා සිදුකරන විමර්ශනවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙසට ඔහුට අවස්ථා ගණනාවක් තම විමර්ශන නිලධාරීන් දුරකථන මගින් සැකකරු දැනුවත් කර ඇතත් ඒ සෑම අවස්ථාවකදී ඒ සඳහා දින ඉල්ලමින් තත්පර කීපයක් ඇතුළත සැකකරු දුරකථන ඇමතුම් විසන්ධි කරන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කියා සිටියහ.

විමර්ශන සඳහා අවශ්‍ය සහාය නොදක්වන බවට විමර්ශන නිලධාරීන් නඟන චෝදනාව අසත්‍ය බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසීය. විමර්ශන කඩිනමින් අවසන් කොට සම්පිණ්ඩන වාර්තා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙම අවස්ථාවේදී ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බවට දක්වන කරුණු මත සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන බව පෙන්වා දෙමින් එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here