හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන චෝදනාවට අදාළවයි.
ඒ, අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ.
මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව 05ක් වන අතර, සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙනවා.
එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21ක් ද ඉදිරිපත් කර තිබෙනවා.
Saru FM Media