ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සේවය සදහා කොන්දොස්තරුන් ලෙස කාන්තාවන් බඳවා ගැනීම අද (06) සිදු විය.
ඒ අනුව අලුතින් බඳවාගත් කාන්තා කොන්දොස්තරවරුන් 19 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මීට දශක කිහිපයකට පෙරද ලංකාවේ කාන්තාවන් කොන්දොස්තරවරුන් ලෙස සේවයේ නියුතුව සිටියේය.
එම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞෂල්‍යා ආරියරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, මාකුඹුර ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක, ප්‍රවීන රංගන ශිල්පී චමිලා පීරිස්, ශ්‍රී ලංගම සභාපති සජීව කනගරත්න ප්‍රමුඛ ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞෂල්‍යා ආරියරත්න,
“අද දිනය ඓතිහාසික දිනයක්. පළමු නිල කොන්දොස්තරවරියන් වශයෙන් ඔබ සියලු දෙනාම ඉතිහාසයට එක්වී අවසන්. විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යතුමා අප මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එතුමා ප්‍රවාහන ක්ෂේත්‍රය බාරගත් දින පටන් උත්සාහ කළා මේ ක්ෂේත්‍රයේ කාන්තාවන්ට අවස්ථාව ලබා දීමට. ඒ වගේම කාන්තාවට ඇතිවන හිරිහැර සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළ අමාත්‍යවරයෙක්. අද මේ පත්වීම් ලබාදීම එහි එක් ප්‍රථිපලයක්. ඒ වගේම එදාමෙදා තුර කාන්තා අයිතීන් වෙනුවෙන් කළ සටන්වල ප්‍රථිපලයක්.
ඉතිහාසයේ ඡන්ද බලයක්වත් නොමැතිව සිටි කාන්තාව, අද මේ තත්වයට පත්වීම සම්බන්ධයෙන් අපි සතුටු විය යුතුයි. සමාජයේ එක් එක් වෘත්තීන් ස්ත්‍රීකරණය වෙලා තිබුණා. නමුත් මේ වනවිට ඒ සීමාවන් බිඳ දමමින් මේ ආකාරයෙන් සෑම ක්ෂේත්‍රයක්ම කාන්තාවන්ට විවෘත වෙලා. කෙතරම් අභියෝග ආවත් මේ බාරගත් අභියෝගයට නොසැලී මුහුණ දෙන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාරයෙන් කාන්තාවන් අභියෝගයන්ට මුහුණ දීමෙන් හොඳ රටක්, යහපත් සමාජයක් මෙන්ම කාන්තාවට වඩාත් හිතකාමී පරිසරයක් බිහිකිරීමට හැකිවේවි” යැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ,
“ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට කොන්දොස්තරවරියන් වශයෙන් කාත්කාවන් බඳවාගැනීම සිදුකෙරෙන අද, සුවිශේෂි දවසක්. ලංගම ඉතිහාසයට නව පරිච්ඡේදයක්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හැඩ කරන්නට, ශ්‍රී ලංගම පවුලට අද නව සාමාජිකාවන් එක්වෙනවා. කාන්තාවන් වශයෙන් එය අපට මහත් ආඩම්බරයක්. සමාජයේ කාන්තාවට තිබූ සීමාවන් පසෙක ලා, මෙවැනි කටයුත්තකට කාන්තාවන් තෝරාගැනීම වැදගත්. නව ආර්ථිකය තුළ කාන්තාවට සිදුකළ හැකි කාර්යභාරයය අතිවිශාලයි. අද අපේ ආර්ථිකය කාන්කාකරණය වී අවසන්. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක් තුළම කාන්තා නියෝජනය අතිවිශාලයි. මේ ආකාරයෙන් වූ විධිමත් මට්ටමේ දායකත්වය හැරුණකොටල කාන්තාවගෙන් සිය ගෘහය මූලික කොටගත් සමස්ත සමාජයට සිදුවන සුවිශේෂී දායකත්වය ගැනත් අපි සලකා බැලිය යුතුයි. සැබවින්ම එය මිලකළ නොහැකි සේවයක්. අද මේ නව පත්වීම් ලබන කාන්තාවන්ට සිය රැකිව තුළ විශාල වගකීම් රාශියක් පැවරෙනවා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය තුළ සිදුවන්නාවූ කාන්තා හිංසනය පිටුදැකීමට එයට එරෙහිවීමට මෙම නව පත්වීම් ලාභීන් ක්‍රියාත්මක වියයුතුයි. ඒ අනුව වෘත්තියට එහා ගිය වටිනා සේවයක් දැයට දායාද කිරීමට ඔබට හැකියාවක් පවතිනවා.” යැයි පැවසීය.










2
Saru News










