ලංකාවේ ප්‍රසිද්ධ පාලම් 7ක් ගැන රසබ​ර තොරතුරු

0
26


පාලම් කියන්නෙ ඕන රටක, ඕන කාලෙක දකින්න තියෙන ප්‍රවාහනය පහසු වෙන්න සකස් කරපු ක්‍රමවේදයක්. ඒ කාලෙ ගල් පාලම්, ලී පාලම්, යකඩ පාලම් වල ඉඳල අද ගුවන් පාලම් වෙනකන් කාලෙන් කාලෙට එක එක පාලම් කරලියට ඇවිල්ල තියෙනවා. ලංකාව ගත්තත් ඔය කියපු හැම වර්ගයකම පාලම් මේ රටෙත් දකින්න පුළුවන්. හැබැයි ඉතින් කොයි තරම් පාලම් හැමදාම හැදුනත් නම කියපු ගමන්ම මතකෙට එන, භාවිතයේ නැති උනත් මතකයේ හැමදාටම තියෙන, රස කතා සැඟවිලා තියෙන පාලම් එහෙමත් කීපයක්ම තියෙනවා. අපි අද මේ කතා කරන්න යන්නෙ අන්න එහෙම කතාබහට ලක්වෙන ලංකාවේ ප්‍රසිද්ධ පාලම් කීපයක් ගැනයි. නම් ගම නිතර අහල පුරුදු උනාට මේ පාලම් ප්‍රසිද්ධ ඇයි කියන කාරණාවත් කියවල බලමු එහෙනම්.

 

1. ආරුක්කු නමයේ පාලම – Nine Arches Bridge

Nine Arches Bridge නැත්තම් ආරුක්කු නමයේ පාලම කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මේ පාලම පිහිටල තියෙන්නෙ දෙමෝදර. දෙමෝදර පාලම කියලත් කියන්නෙ මේ ආරුක්කු නමයේ පාලමටම තමා. කොළඹ – බදුල්ල කෝච්චිය යන්නෙ මේ ආරුක්කු නමයේ පාලමට උඩින්. මේ අවුරුදු එකසිය ගාණක් පරණ දෙමෝදර පාලමේ ඉතිහාස කතාව හරි ලස්සන එකක්. 

මේ පාලම හදල තියෙන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයේ. මේ දුම්රිය මාර්ගය සකස් කරන අතරේ එක ස්ථානයක කඳු දෙකක් යා කරන්න යකඩ පාලමක් හදන්න තමයි ඉංජිනේරුවරුන් සැලසුම් කරලා තිබුණේ. නමුත් ඒ යකඩ පාලමේ දිග ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් අපහසුතාවයට පත්වෙලා ඉන්න වෙලාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් උන පී. කේ. අප්පුහාමි කියන ගැමියා තමයි මේ කළුගල් අත්තිවාරමක් උඩින් ආරුක්කු නමයක් සහිතව හදන පාලමේ සැලසුම සටහන් කරල දීල තියෙන්නේ. අවසානයේ ඔහුගේ සැලසුමට අනුව පාලම සකස් කළත් ඒ පාලම මත දුම්රියක් ධාවනය කරන්න ශක්තිය ඇතිද කියන එක ගැන ඉංජිනේරුවරුන්ට තිබුන සැකය දුරු කරන්න මුල්ම දුම්රිය ධාවනය වෙනකන් පාලම යට සරමක් එලාගෙන නිදාගෙන ඉන්නත් මේ අප්පුහාමි කටයුතු කරලා තියෙනවා.

 

2. කින්නියා පාලම

කින්නියා පාලම කියන්නෙ ලංකාවේ දැනට තියෙන දිගම පාලම. මේ නිසාම තමයි මේ පාලම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත්. කින්නියා පාලමේ දිග මීටර් වලින් කිව්වොත් මීටර් 396ක්. ත්‍රිකුණාමලය සහ කින්නියා කියන නගර දෙක සම්බන්ධ කරමින් කළපුවක් උඩින් තමයි මේ කින්නියා පාලම ගමන් කරන්නෙ. කළපුව උඩින් ලස්සන බලාගෙන හුඟ දුරක් ගමන් කරන නිසා එක පාරක් හරි ගියපු කෙනෙකුට මේ පාලම අමතක වෙන්නෙනම් නැහැ.

 

3. මනම්පිටියේ පාලම

මනම්පිටිය පාලම කියන්නෙත් දිග නිසාම ප්‍රසිද්ධියට පත්වුණ පාලමක්. කින්නියා පාලම නිර්මාණය වෙන්න කලින් ලංකාවේ තිබුන දිගම පාලම උනත් කින්නියා පාලමෙන් පස්සෙ දැන් දිගින් දෙවනියට වැඩිම පාලම මේ මනම්පිටිය පාලමයි. දිගින් හරියටම මීටර් 302ක්. මෙතන පාලම් දෙකක් තියෙනවා. ඒ එක්දාස් නමසිය මුල් ගණන් වල හදපු යකඩ පාලම සහ මෑතක හදපු පාලම විදිහට. මේ මනම්පිටිය පාලමත්, අපි කලින් කියපු ආරුක්කු නාමයේ පාලමත් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන අලුත් රුපියල් පනහේ මුදල් නෝට්ටුවෙත් දකින්න තියෙනවා.

 

4. කල්ලඩි පාලම

“කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝ” කියන්නෙ හරි ප්‍රසිද්ධ කතාවක්. මාළු ඇත්තටම සින්දු කියනවද නැද්ද කියල අපි දන්නෙ නැති උනත් ලස්සන කලා නිර්මාණ වල අපිට මේ ගැන අහන්න ලැබෙනවා. කොහොම උනත් මේ සින්දු කියන මාළු ඉන්න කල්ලඩි පාලම පිහිටල තියෙන්නෙ මඩකලපුවේ කල්ලඩි කියන ප්‍රදේශයේ. පාලමේ ඇත්තම නම “ලේඩි මැනින්” කියන නම උනත් ව්‍යවහාරයට ලේසි, ප්‍රදේශයේ නමින් තමයි පාලම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. 1924 වර්ෂයේදී හදල ඉවර කරපු මේ පාලම දිගින් අඩි 946ක් කියල තමයි කියන්නෙ. 

 

5. බෝගොඩ දැව පාලම

බෝගොඩ දැව පාලම කියන්නෙත් ප්‍රසිද්ධ වගේම ඉතිහාසයේ විශිෂ්ඨ නිර්මාණයක්. මේ ලීයෙන් නිමකරපු පාලම හදල තියෙන්නෙ 16 වෙනි ශතවර්ෂයේ දඹදෙණි පාලන සමයේ කියල තමයි සැලකෙන්නෙ. මේ දැව පාලම ලංකාවේ දැනට තියෙන පැරණිම දැව පාලම විදිහටත් සැලකෙනවා. පුදුමය කියන්නෙ මේ පාලමේ ලී එකිනෙක සම්බන්ධ කරන ඇණ පවා හදල තියෙන්නෙ ලී වලින්. කොස් සහ කුඹුක් කියන ලී වලින් සකස් කරලා තියෙන මේ පාලමේ ලී කැටයම් වගේම අලංකාර උළු වහලයකුත් දකින්න පුළුවන්. 

 

6. බරලන්තොට කම්බි පාලම

මේ පාලම පිහිටලා තියෙනේ සබරගමුව දිස්ත්‍රික්කයේ දැරණියගල බරලන්තොට කියන ප්‍රදේශයේ. මේ බරලන්තොට කම්බි පාලම තමයි දැනට ලංකාවේ තියෙන උසම කම්බි පාලම එහෙමත් නැත්තම් උසම සංගිලි පාලම විදිහට සැලකෙන්නෙ. මේ පාලමත් ඉදිකරලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. උසින් අඩි 90කුත් දිගින් අඩි 210කුත් වෙන මේ කම්බි පාලමේ ප්‍රධාන කේබල් අඟල් එකහමාරක වගේ ඝණකමකින් යුක්ත වෙනවා. ඒ කාලේ මාලිබොඩ වතුයායේ ඉඳලා ප්‍රධාන මාර්ගයට රබර් ප්‍රවාහනය කරන්න සකස් කෙරුණු මේ පාලම අදටත් ඒ ප්‍රදේශවාසීන් පාවිච්චි කරනවා. 

 

7. සමනළ පාලම

සමනළ පාලම කියන්නෙත් තවත් එක අති ප්‍රසිද්ධ පාලමක්. හුඟක් කලා නිර්මාණවල එහෙම නිතර අහන්න ලැබෙන නමක්. මේ සමනළ පාලම පිහිටල තියෙන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයේ. සමනළයෙකුගේ තටු දෙකක් දෙපසට විහිදෙන විදිහට නිර්මාණය කරලා තියෙන අමුතු ස්වරූපය නිසාම තමයි මේ පාලමට සමනළ පාලම කියන නම ලැබිල තියෙන්නෙ. අදටත් ගාලු කොටුව අවට සංචාරය කරන බොහොමයක් දෙනා අනිවාර්යයෙන්ම බලන්න අමතක නොකරන පාලමක් තමයි මේ සමනළ පාලම. 

 

 

The post ලංකාවේ ප්‍රසිද්ධ පාලම් 7ක් ගැන රසබ​ර තොරතුරු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here