ශ්‍රි ලංකාවේ පළමුවන සිංහල පුවත්පත වන ලංකා ලෝකය මුද්‍රණය කර අදට (10 දාට) වසර 165කි. එම පුවත්පත මුද්‍රණය කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය දැනට ලංකාවේ තිබෙන පැරැණිම මුද්‍රණ යන්ත්‍රය වේ. එය මේ වනවිට ඇත්තේ අහංගම කතලුව රන්වැල්ල විහාරස්ථානයේය.
මෙම රන්වැල්ල විහාරස්ථානයේ නිර්මාතෘ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමණතිස්ස හිමියෝය. එවකට බුද්ධාගමට එල්ලවූ විවේචනවලට පිළිතුරු සැපයීමට මෙන්ම බෞද්ධ පොතපත මුද්‍රණය කර ගැනීමට මුද්‍රණාලයක් නොතිබීම විශාල අඩුවක් බව දුටු බුලත්ගම නාහිමියන් බෞද්ධයන් සඳහා අච්චු කන්තෝරුවක් (මුද්‍රණාලයක්) ආරම්භ කිරීමේ අරමුණින් සමිතියක් පිහිටුවාගෙන ඇත. ඒ සඳහා පළමු සාකච්ඡාව බුලත්ගම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේ ගාල්ල පරමානන්ද විහාරස්ථානයේදීය. එම සාකච්ඡාව අනුව ධනවත් බෞද්ධයන්ගෙන් බෞද්ධ අච්චු කන්තෝරුවක් මිලදී ගැනීම සඳහා පවුම් 10 බැගින් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එම සමිතියේ මුදල්ද උඩුහාවර මුදලිතුමා විසින් පරිත්‍යාග කරන ලද මුදල් ද අංගසම්පූර්ණ මුද්‍රණාලයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවූ නිසා අච්චු කන්තෝරුවක් මිලදී ගැනීම සඳහා උදව් කරන ලෙස බුලත්ගම හිමියන් තම මිත්‍ර සියම් දේශයේ (තායිලන්තය) මොන්කට් රජුගෙන්ද ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මොන්කට් රජතුමා මුදල් පරිත්‍යාග කර ඇති අතර පසුව එම මුදල්ද යොදවා කොලොම්බියන් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් මිලට ගෙන ඇත. ඒ අනුව මෙම මුද්‍රණාලය ගැනීමට සියම් දේශයේ මොන්කට් රජුගෙන්ද උපකාර ලැබුණ නිසා එය “ලංකෝපකාර අච්චු කන්තෝරුව” නමින් හැඳින්වූ බවද විහාරස්ථාන ඉතිහාස කතාවේ සඳහන් වේ.
පළමුවෙන්ම ගාල්ල දංගෙදර වීදියේ කුඩා ගොඩනැඟිල්ලක මෙම මුද්‍රණාලය සවිකර ඇත. “ලංකා ලෝකය“ පුවත්පතේ පළමු මුද්‍රණය නිකුත්ව ඇත්තේ 1860 සැප්තැම්බර් 10 වැනි දිනය. ෆුල්ස්කැප් පිටුවක ප්‍රමාණයක වූ ‘ලංකා ලෝකය’ පුවත්පත සති දෙකකට වරක් මුද්‍රණය කර ඇති අතර එහි මිල ශත 10කි.
පුවත්පතේ ඉහළ වම්පස පළවී ඇත්තේ මෙසේය. මෙම ප්‍රවෘත්ති පත්‍රය සති දෙකකට වරක් සෑම බදාදා දවස්වල අච්චු ගසා ප්‍රසිද්ධ කරනු ලැබේ. මීට දායක මුදල මාසෙකට ශත 20කි. තැපෑල වියදමත් සමග ශත 28කි. අප පත්‍රයේ ප්‍රසිද්ධ කිරීම පිණිස එවන ලියුම් පැහැදිලි ලෙස එක පැත්තේ ලියා ගාල්ලේ දන්ගෙදර විදියේ 369 දරණ ස්ථානයේ ‘ලංකා ලෝක’ කර්තෘ නමට එවිය යුතුය.

පත්‍රයේ පළකරන දැන්වීම් සඳහා අයකරන ගාස්තු දකුණු පස කෙළවර සඳහන් කර ඇත්තේ මෙසේය. දැන්වීම් පත්‍ර ප්‍රසිද්ධ කරවන්නන්ට දැන්වීමයි. එක වතාවකට අකුරු දහයකට නොහොත් ඉන් කොටසකට ශත 2 බැගින් අය කරනු ලැබේ.
ඉංග්‍රීසියෙන් ප්‍රසිද්ධ කරනවා නම් එක වතාවකට වචන දහයකට හෝ ඉන් කොටසකට ශත 4 බැගින් අය කරනු ලැබේ.
“දායක මිල අවුරුද්දකට රු. 2.40 තැපැල් වියදමත් සමග රු.3.36”
1867 ජනවාරි 5 වැනි දින මුද්‍රණය කරන ලද “ලංකාලෝකය” පුවත්පතේ මුල් පිටුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ දුක්ගැනවිල්ලක් පිළිබඳ ප්‍රවෘත්තියක් පළවී තිබුණේ මෙසේය. “ගාල්ලේ තල්පෙ පත්තුවේ වැසි මනුෂ්‍යයන්ගේ අයැදුම්පත“ තල්පෙ පත්තුවේ පිහිටුවා තිබෙන ගම් සභාව අහක්කරවා ගැනීම පිණිස ආණ්ඩුවට ඔප්පු කරන ලද අයැදුම්පත අරභයා ටයිම්ස් පත්‍ර කර්තෘගේ වාක්‍යයක් සිංහලට නඟා අප වෙත එවන ලදී. අයැදුම්පතේ කියා තිබෙන කොහු වළවල්වලින් අයබදු අයකරවීම දුප්පත් වැසියාට ඉසිලිය නොහැකි බරක්වා සත්තකයි. එම පළාත් වැසි දුප්පත් පොහොසත් වැසියන්ගේ ප්‍රධාන කර්මාන්තය නම් පොල්ලෙලි පල්කරවා තලවා ලනු ඇඹරවීමයි. නොයෙක්විට දුප්පත් ස්ත්‍රියෝ ලණු අඹරා විකුණා මුදල් ගෙවනා පොරොන්දුව පිට පොල්ලෙලි ණයට ගෙන පල්කරවා ලණු අඹරති. නොයෙක්විට පොල් ලෙලිවල ණය ගෙවන්නට තබා එයින් ඔවුන්ගේ දිවිරැක ගැනීමට පවා මිල උපදවන්නට නොහැකි වෙති. එයින් ඔවුන්ට අයබදු ගෙවන්නට පුළුවන් යැයි නොකියමු. ලණු ඇඹරීමෙන් ජීවිකාව ලබන ස්ත්‍රියෝ දුප්පත්කම නිසා නොයෙක් විට දෙවේල නොකති. ලණු කැරැලි දෙක තුනක් අඹරා ගෙන ගොස් විකුණා හාල් සේරු භාගයක් හෝ කාලක් රැගෙනවිත් කිසිම ව්‍යංජනයක් ලබාගන්ට නුපුළුවන් බැවින් ලුණුත් බතුත් කති.
මුල් පිටුවේ මෙසේද මුද්‍රණය කර ඇත. “පත්‍රය අත්පිට මුදලට මිස ණයට දෙනු නොලැබේ“ යන්න එම වැකියයි.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග කතලුවට ආසන්න කොග්ගල හමුදා කඳවුරක් ඉදිකිරීම නිසා මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා එහි වැඩ කරමින් සිටි පුද්ගලයකුට බදු ඔප්පුවකින් පවරාදී ඇති අතර එම පුද්ගලයා පානදුර වල්පල ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන ගොස් මුද්‍රණ කටයුතු සිදුකර ගෙන ගොස් ඇත. එහෙත් බදු කාලසීමාව අවසන් වුවද ඔහු යළිත් එය නොදීම නිසා එවකට විහාරාධිපතිව සිටි කෝදාගොඩ සුගුණපාල හිමියන්ට අධිකරණයට යෑමට සිදුවිය. ඒ අනුව 1954 මාර්තු මාසයේ අච්චු කන්තොරුව යළිත් කතළුව රන්වැල්ල විහාරස්ථානයට ගෙන එන ලදී.
මේ අතර වසර එකසිය පනහකට වඩා පැරණි ලංකාවේ පළමු සිංහල පුවත්පත මුද්‍රණය කර ඇති ලංකෝපකාර මුද්‍රණාලය 2012 නොවැම්බර් 19 වැනිදින රාත්‍රී හදිසියේ ඇතිවූ ගින්නෙන් විනාශ විය. ලී අකුරු සියල්ලද විනාශ විය. එහෙත් වසර නමයක් ගතවන තුරු එය ප්‍රතිසංස්කරණය කිරීමට කිසිම රජයක් පියවර ගෙන නොතිබිණ.

පසුව වත්මන් විහාරාධිපති මාරකොල්ලියේ විමලජෝති හිමි තායිලන්ත තානාපතිවරයා හමුවී මුද්‍රණ යන්ත්‍රයට ඇතිවූ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළහ. ඒ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියෝ මෙසේ පැවසූහ.
“කිසිම රජයක් මේකට උදව් කළේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඇවිල්ල බලල ගියා විතරයි. පස්සේ දායක සභාවේ කෙනෙකුගේ මැදිහත්වීම මත තායිලන්ත තානාපතිතුමා හමුවී විස්තර කිව්වා. තානාපතිතුමා කම්පාවට පත්වුණා. ඔබේ රජය සැළකිල්ල දැක්වූයේ නැත්තේ ඇයි කියල ඇහුවා.
මේ කෞතුක භාණ්ඩය ප්‍රතිසංස්කරණය කරල ආරක්ෂා කිරීමට තායිලන්තයේ ආධාර ලැබුණා. පසුව තායිලන්තයේ වියදමින් ඉංජිනේරු සංස්ථාව විසින් ප්‍රතිසංස්කරණය කළා. එය 2021 ජනවාරි 28 වැනිදින හිටපු තායිලන්ත තානාපතිවරිය විසින් විවෘත කළා.
මෙම මුද්‍රණාලය තිබෙන ගොඩනැඟිල්ල කෞතුකාගාරයක් ලෙසට සකස්කොට එය සිසුන්ටත් මහජනයාටත් නැරැඹීමට හැකි ආකාරයට ප්‍රදර්ශන කුටියක තැන්පත් කිරීමටත්, ඒ වගේම වැලිපීල්ලේ සිට ගල්කූර, ගල්ලෑල්ල, පැන්සල, පෑනේ සිට පරිගණකය දක්වා නවීන තාක්ෂණයත් සිංහල අකුරු විකාශය පිළිබඳවත් ප්‍රදර්ශන කුටියේ තැන්පත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගොඩනැඟිල්ලක් අවශ්‍ය වෙනවා. එයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි.
දකුණු පළාත් ආණ්ඩුකාරතුමාද සති කිහිපයකට පෙර ඇවිල්ලා මෙය බලා ගියා. මම එතුමාටත් මගේ අදහස කිව්වා. එතුමාද එයට එකඟ වුණා.”
අහංගම – සුගතපාල දීයගහගේ
Saru FM Media