රෝගී දරුවන් පෙන්වා මුදල් ගරන ජාවාරමක්

0
1

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණ වූයේ ෆේස්බුක් ගිණුම්වල තබන සටහන් උපයෝගී කරගනිමින්, සැකකරුවන් අදාළ ජාවාරම සිදුකර ඉන් උපයන මුදලින් මත්කුඩු පානය කරන බවය.

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ රුව භාවිත කරමින් මෙම පිරිස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් මෙම ජාවාරමෙහි නිරත වී ඇත.

මෙම එක් ගිණුමක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට උපකාර අවැසි බව පවසමින් පෝස්ට් පළකර තිබූ අතර ඒ පිළිබඳ සංවේදී වූවන් මුල්‍ය පරිත්‍යාග සිදුකර තිබේ.

නමුත් අදාළ දරුවන්ගේ ඥාතීන් ෆේස්බුක් සමාජයේ සංසරණය වන අදාළ පෝස්ට් දැක ඒ පිළිබඳ සොයා බලා ඊට සටහන් තැබූ පුද්ගලයින් දැනුවත් කර ඇත්තේ තම දරුවාට උපකාර අනවශ්‍ය වන බවය.

පරිත්‍යාග ලබාදුන් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි  ඒකකය මගින් Facebook ආයතනයෙන් තාක්ෂණික දත්ත තොරතුරු ලබාගනිමින් ඊට අදාළ විමර්ශන පසුගියදා ආරම්භ කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස වංචනික ලෙස ආධාර එකතු කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් facebook ගිණුම් 6ක් හඳුනා ගනු ලැබීය.

එහිදී අනාවරණය වූයේ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඉලක්ක කරමින් කලක සිට ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බවය.

ඒ වන විටත් ව්‍යාජ ගිණුම් සඳහා මුදල් බැරකර තිබුණු පරිත්‍යාගශීලින් බොහෝ දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව මෙම ජාවාරම සිදුකළ සැකකරුවන් තිදෙනෙක් ඕපනායක හා රක්වාන යන ප්‍රදේශවලදී ඊයේ අත්අඩංගුවට ගැණුනි.
 
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රෝගී වූ දරුවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් විවිධ පුද්ගලයින් තබන සටහන්වල තොරතුරු ලබාගනිමින්, ඊට ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්ද ඇතුළත් කර සටහන් නිර්මාණය කරමින් මුදල් රැස්කර ඇති බවය.

එම පෝස්ට් නරඹන පිරිස් අදාළ බැංකු ගිණුම්වල බැර කරන මුදල් ජාවාරම්කරුවන් දෛනිකව ඉවත් කරගනිමින් මත්කුඩු පානය සඳහා භාවිත කර ඇති බවය.

සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කෙරිණි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here