රු.කෝටි 50ක මත්ද්‍රව්‍ය සමග හිටපු බුද්ධි නිලධාරියෙකුත් අත්අඩංගුවට – Saru News | සිංහල

0
2

රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (27) අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුද සිටින බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසයි.

එමෙන්ම මෙම ජාවාරම විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද ඔහු පවසයි.

අහුංගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (27) පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේදී සිදුකළ පරීක්ෂා කිරීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවක් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 07කට අධික පමණයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.

ඇය සතුව තිබී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 30ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 30ක් සොයාගත් බවද පොලිසිය පවසයි.

එමෙන්ම ඇයගෙන් එම මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 බැගින්ද සොයා ගැනීමට පොලිසිය සමත් ව ඇත.

මෙම මෙහෙයුමත් සමග වසරේ මේ දක්වා කාලයේ දී දකුණු පළාත තුළ දී පොලිස් භාරයට ගත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 100 ඉක්මවන බවද දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සඳහන් කර සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසරේ දකුණු පළාත තුළ සිදු කළ මෙහෙයුම් මගින් හෙරොයින් සහ අයිස් කිලෝ 1,705ක ප්‍රමාණයක් සහ අවිආයුධ 432ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවය.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here