රැකගන්න අමාරු කර්ල් හිසකෙස් රැකගන්නේ මෙහෙමයි

0
17


රැලි සහිත කොණ්ඩයක් එහෙමත් නැත්නම් කර්ලි හෙයා එකක් කියන්නේ රැකබලා ගන්න ටිකක් අමාරු වර්ගයේ කොණ්ඩයක් උනත් ගොඩක් තරුණියන් ආස කරන දෙයක්. රැලි සහිත හිසකෙස් සාමාන්‍ය හිසකෙස් වලට වඩා කැඩීයාම සහ වියළීම යන තත්ත්වයන්ට මුහුණදෙන සම්භාවිතාවයක් වැඩියි.  ඒ නිසා අද අපි ඔබට කියන්නේ ඔබට ආභරණයක් වගේ තියෙන ඔබේ කර්ලි හෙයා එක රැක ගන්න පුළුවන් ටිප්ස් ගැනයි 

හිස කෙස් රැක බලා ගැනීම පිළිබඳව කතා කරන විට එහි ප්‍රධානතම අංගය තමයි හිසකෙස් සේදීම. රැලි සහිත හිස කෙස් වියලීමට ලක්වීම ඉතා අධික වෙනවා. එය දිනපතා සේදීම මගින් මේ තත්ත්වය වැඩි වන්නට පුළුවන්. ඒ නිසා රැලි සහිත කොණ්ඩයක් සේදීම දින තුනකට වරක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත්. ඔබේ හිස කෙස් දිගු සහ ඝන නම් එය කොටස් වශයෙන් වෙන්කර සෝදා ගන්න ඔබට පුළුවන්.  

බොහෝ දෙනා ස්නානය කිරීම සඳහා උණු වතුර භාවිතා කරනවා. මේ ඔබේ හිසකෙස් සඳහා ඉතා අහිතකර තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. විශේෂයෙන්ම උණුවතුර මගින් ඔබේ හිස කෙස් වල සහ හිස් කබලෙහි ඇති ස්වාභාවික තෙල් සහ තෙතමනය ඉවත් කරනවා. එමගින් හිස කෙස් කැඩී යාම , ගැලවී යාම සහ හිසකෙස් හානියට පත්වීම සිදුවනවා. මේ නිසා සෑම විටම ස්නානය කරන විට ආරක්ෂිතම ක්‍රමය වන්නේ සීතල වතුර භාවිතා කිරීමයි.

සාමාන්‍ය හිසකෙස් රැකබලා ගන්නවා මෙන් රැලි සහිත හිස කෙස් රැක බලා ගන්නට බැහැ. ඒ වගේම හිසකෙස් සඳහා ෂැම්පු වර්ග තෝරා ගැනීමේදීත් ඔබ ඉතා හොඳින් සැලකිලිමත් වන්නට ඕනේ. රැලි සහිත හිස කෙස් සඳහා නිපදවූ ෂැම්පු වර්ග මේ වන විට ඕනෑ තරම් වෙළඳපොලේ තිබෙනවා. ඒවා අතරින් සල්ෆේට්  ,සිලිකන් සහ ඇල්කොහොල් වැනි සහිත රසායනික ද්‍රව්‍ය වලින් තොරව ඉතා මෘදු ලෙස නිපදවූ ෂැම්පු වර්ගයක් ඔබ තෝරාගත යුතුයි .

හිස කෙස් වලට අධික ලෙස ෂැම්පු යෙදීම මගින් ඒවා වියළීමට ලක්වනවා වගේම හිස කෙස් වල ස්වාභාවික තෙතමනය ගිලිහී යනවා. රැලි සහිත හිස කෙස් වලට මේ තත්ත්වය බොහෝ ලෙස බලපානවා. ඒ නිසා ඔබ රැලි සහිත කොණ්ඩයක් හිමි කෙනෙක් නම් ඔබේ හිස කෙස් සඳහා අධික ලෙස ෂැම්පු යෙදීමෙන් වලකින්න.

රැලි සහිත හිස කෙස් අනෙකුත් හිස කෙස් වලට වඩා වියලීමට ලක් වීම නිතරම සිදු වෙනවා. ඒ නිසා ඒවායේ තෙතමනය පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්. ඔබේ හිසකෙස් සෝදා ගැනීමෙන් පසු ඉතා එයට හොඳ කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ හිස කෙස් සඳහා සුදුසු තෙල් වර්ගයකුත් නිතරම භාවිතා කරමින් හිස කෙස් වල තෙතමනය පවත්වා ගන්න.

ඔබට රැලි සහිත කොණ්ඩයක් තිබෙනවා නම් ඔබ කොන්ඩය පීරන ආකාරය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම වැලි සහිත කොණ්ඩයක් පිරීම සඳහා හීනි දැති සහිත පනාවක් භාවිත කරන්න ඔබට බැහැ. ඒ සඳහා විශාල දැති සහිත පනාවක් හෝ ඔබේ ඇගිලි භාවිතා කරන්න ඔබට පුළුවන්. ඔබගේ හිස කෙස් අධික ලෙස වියළි නම් හෝ ගැට ගැසී ඇත්නම් හිසකෙස් පීරන්නට පෙර conditioner භාවිතා කරන්න.

රැලි සහිත හිස කෙස් හොඳින් පවත්වා ගන්නට නම් ඔබට කළ හැකි හොඳම දේ වන්නේ ඒ සඳහා තෙල් සත්කාර සිදු කිරීමයි. ඔබේ හිස කෙස් සඳහා තෙල් සත්කාර සිදුකිරීම මගින් හිස් කබලේ රුධිර සංසරණය හොඳින් සිදුවන අතර නීරෝගී හිසකෙස් වර්ධනය වීම ද සිදු වෙනවා. ඔබට මේ සඳහා පිරිසිදු පොල්තෙල් , ඔලිව් තෙල් , එඬරු තෙල් , ජොජෝබා තෙල් , අලිගැටපේර තෙල් ,සහ ආමන්ඩ් තෙල් වැනි ස්වාභාවික තෙල් වර්ග භාවිතා කරන්නට පුළුවන්. 

කර්ලි හෙයා එකක් රැකබලා ගන්නට අපහසු උනත් මේ පුංචි ටිප්ස් මගින් ඔබට තවදුරටත් එය අපහසු වෙන එකක් නැහැ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here