අද (16) පස්වරු 3 ට ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයයේදී පැවැත්වීමට නියමිතය.
ඒ රජයේ නිලධාරීන් නිවසේ සිට රාජකාරි කටයුතුවල යෙදවීම සම්බන්ධව ඇති ඉඩකඩ සොයාබලා අවසන් තීන්දුවක් ගැනීම සඳහාය.
පාසල්, විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සම්බන්ධව ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ගවලන් වාර්තා වේ.
මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ (15) දිනයේදී ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී එක් එක් අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.
සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීය පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.
නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී ලේකම්වරුන්ට එහිදී උපදෙස් ලබා දී තිබේ.
අත්‍යාවශ්‍ය සේවාවන් වන රෝහල් කටයුතු පවත්වාගෙන යාම, රෝහල්වලට අවශ්‍ය ආහාර කඩිනමින් සැපැයීම, අඛණ්ඩ විදුලි සැපයුම සඳහා ජෙනරේටර් ආදිය සඳහා ඉන්ධන සැපැයීම ආදිය සම්බන්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ආදී කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන තොග සැපැයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.
ඉදිරියේදී මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා පෙර සූදානමක අවශ්‍යතාවයත්, ඒ වෙනුවෙන් තවදුරටත් දැනට හඳුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමය විධිමත් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දැනට හඳුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමයේ පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරැදිව සකස් කර යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
උද්ගත වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශයන් වෙනුවෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීම වෙනුවට සමස්තයක් ලෙස සලකා බලා පවතින අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට පවසා තිබේ.
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශ ලේකම් කෝලිත කමල් ඇතුළු ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.
එමෙන්ම, කෘෂි කාර්මික කටයුතුද බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කෘෂි උපකරණවලට අවශ්‍ය ඉන්ධන තොග සැපැයීමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරු සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Saru News
















