රාජ්‍ය සේවකයන්ට හිමි සියල්ලක්ම අප දෙනවා ඒත්,අහිමි සියල්ලක්ම ගන්න උත්සාහ කරන්න එපා : ජනපති අනුර

0
10


රෂිකා හෙන්නායක

අප රට ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අවස්ථාවක ඇමරිකානු ජනාධිපතිවරයා එරට ආර්ථිකය සම්බන්ධව ගත් යම් තීන්දු තීරණ නිසා යම් බලපෑමක් අපට තිබෙන බවත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා තම රටේ ආර්ථිකය ගැන සිතා, එහි ජාතික ආර්ථිකය නැවත ශක්තිමත් කර ගැනීමට තීන්දු ගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එහිදී ඔහු වටා ඉන්න අනිත් අයත් සතුටු වෙන්න ඇති බවත්, ඒ සියල්ලකටම වඩා සතුටු වුණේ අපේ රටේ විපක්ෂය බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. එහෙත් මෙරට කණ්ඩායමක් එක්සත් ජනපදයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වන බවත් , ඒ ප්‍රශ්නය අපට සාධාරණ ලෙස විසඳා ගැනීමට උත්සාහ ගනා බවත් ජනාධිපති අනුර පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට ඊයේ (23) පස්වරුවේ මොරටුවේදී එක්වෙමිනි.

ජනරැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

” ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් උරුම කර දීමේ අරමුණ වෙනුවෙන් අපේ රටේ ජනතාව මැදිහත් වෙලා ආණ්ඩුව හැදුවා. වසර 76ක් තිස්සේ පැවති ආණ්ඩු මේ රට ආර්ථිකමය, සමාජයීය වශයෙන් විශාල කඩාවැටීමකට ලක් කළා. නීතියක් නැති රාජ්‍යයක් බවට පරිවර්තනය කළා. ජාතීන් අතර ගැටුම් නිර්මාණය කළා. ජනතාව ඉතා නිර්භීතව ගත් තීන්දුව සාමාන්‍ය එකක් නෙමෙයි. ඉතිහාසයේ පළමුවරට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටින පාර්ලිමේන්තුවක් නිර්මාණය කර තිබෙනවා. මේ රටේ ජනතාව නිර්භීතයි. 

කාලාන්තරයක් තිස්සේ රට පාලනය කළ පක්ෂ පාර්ලිමේන්තුවේ අසුනක් සොයා ගැනීමට නොහැකි වන ආකාරයට බිඳවැටුණා. මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු රැසක් පොදිබැඳ ගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවා. මේ රටේ ජනතාවගේ අපේක්ෂා අප හොඳින් දන්නවා. ඒවා මෙනෙහි කරමින් තමයි, අපේ ආණ්ඩුව ඉදිරියට යන්නේ. ඔබට ලබාදුන් පොරොන්දු ඉටු කර ගැනීම වෙනුවෙන් සහතික වෙනවා.

මේ රටේ ආර්ථිකය ගොඩනැඟිය යුතුව තිබෙනවා. රටේ නීතිය තහවුරු කළ යුතුයි. ලෝකයේ ඉදිරියේ බැබලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි කියන අපේක්ෂාව තිබෙනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කළ යුතුයි. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව සිදුවිය යුතුයි කියන අපේක්ෂාව තිබෙනවා. ඒ වගේම වංචනිකයන්ට දඬුවම් දිය යුතුයි කියන අපේක්ෂාවද තිබෙනවා. අපට ඡන්දය ලබා දුන් සියලු දෙනා බලාපොරොත්තු වුණේ පෞද්ගලික අපේක්ෂා ඉටු කර ගැනීමට නෙමෙයි. 

සැප්තැම්බර් මස ආරම්භ කළ මාවත ඉදිරියට යනවාද නැද්ද නැත්නම් පරණ විනාශකාරී දිශාවකට හරනවාද කියන තීන්දුව මේ රටේ ජනතාව ගත කළ යුතුයි. විපක්ෂය කුමක් කිවුවත් මේ මාවත ඉදිරියට යෑමේ එකඟතාව මේ රටේ බහුතර ජනතාව මැයි මාසයේ 06 වන දා පළ කරන බව පැහැදිලියි. අද විපක්ෂය විචාරකයන් පමණයි. ඔවුන්ට පක්ෂ නැහැ. ඔවුන් අද කරන්නේ ජනතාවට අභිමුඛ වෙනවාට වඩා මාධ්‍ය ඉදිරියේ අභිමුඛ වීමයි. අද ජනතාවට තෝරාගත යුතු එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි. 

අද රජය ප්‍රාග්ධන වියදම් යොදවමින්, යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පෞද්ගලික අංශයට අවශ්‍ය සහාය ලබාදෙමින් තිබෙනවා. රටක් ගොඩනැඟෙන්නේ මේ අංශ දෙක තුළින් පමණයි. එහෙම කරන්න නම් රජයේ ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවන්නයි, පෞද්ගලික අංශයට දායකත්වය සපයන්නයි අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ශක්තිමත් රාජ්‍ය සේවයක් නොමැතිව අපට මේවා කරන්න බැහැ. රජයේ සංවර්ධන ක්‍රියාදාමය නිසිපරිදි කිරීමට ඇස්තමේන්තු හදන්න ඕනෑ, ටෙන්ඩර් පටිපාටි සකස් කරන්න ඕනෑ, ටෙන්ඩර් කැඳවන්න ඕනෑ, කොන්ත්‍රාත් ප්‍රදානය කරන්න ඕනෑ, ඒවා පරීක්ෂා කරන්න ඕනෑ. මේ සියල්ලක්ම කරන්නේ රාජ්‍යයයි. 

රාජ්‍ය සේවකයන්ට හිමි සියල්ලක්ම අප දෙනවා. එහෙත්, අහිමි සියල්ලක්ම ගන්න උත්සාහ කරන්න එපා. දේශපාලකයන් වශයෙන් අපට හිමි ගොඩක් දේවල් අත්හරිමින් තමයි අපි රාජ්‍ය සේවකයාට ලබා දෙන්නේ. ජනාධිපතිවරයාට, ඇමැතිවරයාට පනත්වලින්, චක්‍රලේඛවලින් හිමි දේවල් තිබෙනවා. එහෙත් අප ඒවා අත්හැර තිබෙනවා. ඕනෑම ව්‍යවසායකයෙක් කිවුවොත් කර්මාන්ත ශාලාවක් දාන්න කැමතියි, අපට ඉඩමක්, විදුලිය, ජලය, මාර්ග ලබා දෙන්න කියා. හැබැයි, හරියට බදු ගෙවන්න. කොළඹ වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩු වාණිජ වටිනාකම් තිබෙන ඉඩම් නිකම් තියාගෙන වැඩක් නැහැ. ඒවා ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව හොඳ ආයෝජකයන්ට එම වාණිජ ඉඩම් ලබා දීමට කටයුතු කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here