ඉතාම රහසිගත තොරතුරු සහ රහස් සම්බන්ධතා හෙළිකර ගැනීමට අවශ්‍ය කර තිබූ සම්පත් මනම්පේරි නමැති සැකකරුට අයත් ජංගම දුරකථනය ඔහු විසින් දෙහිවලදී දුම්රිය පීල්ලට තබා එය දුම්රියේ ගැටෙන්නට සලස්වා විනාශ කර මුහුදට විසි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සම්පත් මනම්පේරි මේ බව හෙළිකර තිබේ.
තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත් සමගම තම ජංගම දුරකථනය මේ ආකාරයට විනාශ කර එහි සුන්බුන් මුහුදට විසි කළ බව සම්පත් මනම්පේරි පාපෝච්චාරණය කර තිබේ.
සම්පත් මනම්පේරි සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයන්, පාතාල නායකයන් සහ ඔහු විසින් සිදු කරන ලද අපරාධ රැසක තොරතුරු මෙම ජංගම දුරකථනය හරහා හෙළි කර ගැනීමට ඉඩ තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එහෙත් මෙසේ ජංගම දුරකථනය ඔහු විසින් විනාශ කර දැමීම විමර්ශන ඉදිරියට කරගෙන යෑමට විශාල පාඩුවක් බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාතාල නායකයන් වන කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු පාතාල මැරයන් සමග සමීප සබඳතා පවත්වමින් දකුණු පළාතේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට මැදිහත්වීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
හේමන්ත රන්දුණු
Saru FM Media