රස්සාවට යන්න කලින් උයන අයට පණිවුඩයක්

0
11


ගෘහණියක් හැටියට පවුලේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ඔබ දරන වගකීම කොහොම අමතක කරන්න ද? ඉතින් හැම ගෘහනියක් ම උදේ අවදි වුණ ගමන් මුලින් ම ක්‍රියාත්මක වෙන්නෙ ඒ වෙනුවෙනුයි. ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දවසේ මුලින් ම ඔබ ඉටු කරන රාජකාරිය හුඟක් කැමැත්තෙන් ඉටු කළ යුතුයි. ඔෆිස් යන්න සූදානම් වෙන අතරේ උදේට උයන්න වුණාම කාලය හොඳින් කළමනාකරණය කරගැනීම තමයි වැදගත් ම දේ. ඔබේ වටිනා කාලය නිවැරදිව කළමනාකරණය කරගනිමින් රසවත්, පෝෂණීය ආහාර වේලක් පිළියෙළ කරගැනීම ගැන අවධානය යොමු කරන හැම කෙනෙකුට ම මේ කරුණු අනිවාර්යෙන් වැදගත් වේවි.

ඔබට ඉවුම් පිහුම් වැඩවලට, රැකියාවට යාමට සූදානම් වීමට, නිවසේ සිට කාර්යාලයට යාමට, දරුවන් සහ සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු වැඩ කොටසට ගතවන කාලය හොඳින් ම දන්නේ ඔබයි. ඒ අනුව උදේ ඔබ අවදි විය යුතු වේලාව තීරණය කරගන්න. ඔබට හිමිදිරි උදෑසනින් ම දවස ආරම්භ කරන්නට සිදුවෙනවා නම් වේලාසනින් නින්දට යන්න.

උදේ ම අවදිවන්නට සිදුවීම, අවදි වූ සැණින් ඉවුම් පිහුම් කරන්නට සිදුවීම, එසැණින් ම රැකියාවට යන්නට සිදුවීම කරදරයක් ලෙස හිතන්නට එපා. හදවත නිරන්තරයෙන් ම තෘප්තිමත් කරගන්න. වැඩකිරීම සතුටක් ලෙස දකින්න. නිවැසියන්ගෙන් සුහදශීලී ව සහාය ලබාගන්නට සමත් වෙන්න.

නිතර භාවිතයට ගන්නා වළන් සහ බඳුන්, සහ උපකරණ පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි පරිදි අසුරා තබන්න. සතියේ දිනවල පරිහරණයට නිතර අවශ්‍ය වන උපකරණ සති අන්තයේ හොඳින් පිරිසිදු කර තබාගන්න.

උදේ අවදි වී අද උයන්නේ මොනවාදැයි තීරණය කරන්නට එපා. එහෙම වුණොත් ඔබට සිදුවන්නේ, ශීතකරණය විවෘත කරගෙන එහි ඇති සියලු එළවළු වර්ග සංසන්දනය කරමින් වෙලාව නාස්ති කරගන්නටයි.

ඔබ කොතරම් කාර්යබහුල වුණත් නිවසේ පිළියෙල කරගෙන යන ආහාර වේලෙහි පෝෂණීය වටිනාකම  ආරක්ෂා කරගත යුතුමයි. නිවසින් පිටත දී දවල් ආහාරය ගන්නට සිදුවන නිසා එහි වර්ණ ගැළපීමත් ව්‍යංජන ගැළපීමත් නිසියාකාරව තිබීම ඔබ ස්මාර්ට් ලේඩි කෙනෙක් බව පෙන්වන සාධකයක් වේවි. එක ම පැහැයෙහි ව්‍යංජන කිහිපයක් (කැරට්, වට්ටක්කා, පරිප්පු, කැකිරි වැනි) එක දවසේ පිළියෙළ කරන්න එපා. පලා මැල්ලුමක් සාදා ගැනීමට කාලය මදිනම් කිරෙන් පිසගෙන හෝ පලාවර්ගයක් කෑමවේලට එකතුකරගන්න. පෝෂණය අංක එක බව අමතක කරන්න එපා.

 කොතෙක් හදිසි වුණත් කෑමවලට ලුණු දාන්න අමතක කරන්න එපා. ලුණු වැඩිකරගන්නටත් එපා. අනවශ්‍ය තරම් මිරිස් යෙදීමෙන් හෝ මිරිස් තුනපහ යොදන්නට අමතක වීමෙන් ඔබේ දවසේ ශ්‍රමය සම්පූර්ණයෙන් ම අපතේ යන්නටත් ඉඩ තිබෙනවා. විශේෂයෙන් ම තෙල් එකතු කරගැනීමේ දී අධික තෙල් භාවිතයෙන් වැළකීමට වගබලාගත යුතුමයි.

උයන්නට භාවිත කරන බඳුන්, පිහි වගේ ම එළවළු සියල්ලත් හොඳින් සෝදා පිරිසිදුකරගන්න. කරවල, හාල්, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍යවල කල්තබාගැනීමේ රසායනික එකතු කර තිබිය හැකි නිසා ඉතා හොඳින් සෝදා පිරිසිදු කරගැනීම අත්‍යවශ්‍යයි. ‍රසායනික යෙදූ එළවළු වර්ග විනාකිරි මිශ්‍ර දියෙන් සේදීමෙන් එහි අහිතකර තත්වය බොහෝ දුරට පාලනය කරගත හැකියි.

මහන්සියෙන් පිළියෙළ කරගත් ආහාර දවල් වන තුරු හොඳින් පවත්වාගැනීමට වගබලාගැනීමත් ඔබේ වගකීමක්. උණු උණුවේ ම බත් පෙට්ටියට කෑම ඇසිරීමෙන් ඇතැම්විට ඔබ නොහිතූ විදියට දවල් ආහාර ගන්නා වේලාව වනවිට ඒවා පිළුණු වීමට ඉඩ ති‍බෙනවා. බත්වලට යටින් කෙසෙල් කොලයක් තබා අසුරාගත හැකිනම් එහි ආකර්ෂණීය සුවඳ ඔබේ දවල් ආහාරය වඩාත් බරසවත් කරන්නට හේතු වේවි.

ඔබේ දිනපතා කෑම වේල වඩාත් රසවත් කරගන්නට පහසුවෙන් ම උදෑසනට කෑමවේලට අසුරාගත හැකි පරිදි සති අන්තයේ දී සකස් කළ හැකි ආහාර වර්ග ගැන අවධානය යොමු කරන්න.

දිනපතා අවශ්‍ය වන පොල්, පොල්කිරි, වැනි කලින් පිළියෙල කර ගත හැකි, ඔබේ ඉවුම් පිහුම් කටයුතු පහසු කරන දේ ගැන සති අන්තයේ සැලසුම් සකස් කරගන්න.

තැම්බෙන්නට වේලාව ගත වන ආහාර, කොස් ඇට, ඉන්නල, තලනබටු වැනි පිළියෙල කරන්නට වේලාව ගතවන ආහාර කලින් දවසේ මූලික අදියරේ කටයුතු අවසන් කර තබාගන්න.

නිවැසියන්ට ප්‍රමාණවත්වන ආහාර ප්‍රමාණ ගැන ගෘහණිය වශයෙන් ඔබ නිවැරදිව දැනුවත් වන්න. මදිවන්නට ඉවීමත්, අපතේ යන්නට ඉවීමත් දක්ෂ ගෘහණියකගේ ලක්ෂණයක් නොවෙයි. පමණ දැනගෙන උයන්න.

-නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here